Thursday, July 18, 2013

පහන් තාරකා



ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ
රසවන්තී මිහිරියේ.........

නිදිමත වැක්කෙරෙන ඇස්දෙක ලාවට වගේ ඇරලා බැලුවෙ උදේ පාන්දර සිංදු දාන්න තරම් මොලේ අමාරුකාරය කව්ද කියල දැන ගන්න. මම ඇරෙන්න වෙන කව්ද මේ ගෙදර සිංදුවක්වත් දාන්නෙ. මල මගුලයි මේ මගෙ ෆෝන් එකේ එලාම් ටෝන් එක නේද කියල මතක් උනේ පස්සෙයි. ඇද වටේ අත ගලා ෆෝන් එක හොයා ගත්ත මම එලාම් එක ඕෆ් කරලා දාල අයෙත් කොට්ටෙ බදා ගත්ත. හප්පා පට්ට නිදිමතයි. තව පැය දෙක තුනකටවත් නැගිටින්නෙනම් නෑ කියල හිතගෙන ඇස් දෙක තද කරල පියා ගත්ත. විනාඩි දහයක් විතර නින්ද යන්න ඇති.

ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ
රසවන්තී මිහිරියේ.........

මොන මගුලක්ද මේ දැන් එක සැරයක් එලාම් එක ඕෆ් කලානෙ. අමාරුවෙන් ඇස් දෙක ඇරල ෆෝන් එක දිහා බැලුවෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න. එලාම් එක ඕෆ් වෙලා නැහැනෙ. ඇස් දෙක වහගෙන වෙන බට්න් එකක්නෙ ඔබලා තියෙන්නෙ. ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තිබුන දිනේ අහම්බෙන් වගේ ඇහැ ගැහුනෙ ඒ වෙලාවෙයි. අඩේ අද සදුදද ඉස්කොලෙ යන්නත් එපැයි මම හිතාගෙන හිටියෙ ඉරිද කියලානෙ. කොහෙද ඉතින් මතක් කරල දෙන්නවත් කවුරුත් ඉන්න එකක්යෑ. ඉක්මනින්ම ඇදෙන් බැහැල බාත්රූම් එකට දුවන ගමන් මම කාමරෙන් ඔළුව දාලා පල්ලෙහාට කෑ ගැහුව.

"සීතම්මේ තේ එකක් හදන්නෝ"

"මේ ගේනව පුංචි මහත්තයා"

බාත්රූම් එකට දුවලා වොෂ් එකක් දාගෙන එද්දි සීතම්ම කිරි එක කාමරේටම ගෙනත් තියල තිබුන. හුටා රෙදි මැදලත් නෑනෙ. කිරි එක එක හුස්මට බීල අල්මාරියෙන් යුනිෆෝර්ම් එක ගත්ත මං දිව්ව අයන් බොර්ඩ් එක ලගට. ඒ ගමන් ආයෙත් පහලට ඔළුව දාල සීතම්මට කෑ ගැහුව.

"සීතම්මේ සැන්විච් දෙකක් හදනවද මට කලා යන්න"

"දෙකක් ඇතෑ පුංචි මහත්තයට"

සීතම්ම දන්නව මම ඔය දෙකක් හදන්න කිව්වට කන්න ගත්තහම දෙකෙන්නම් නතර වෙන්නෙ නැහැ කියල.

"ඔන්න ඔහෙ එහෙනම් තුන හතරක්ම හදන්නකො සීතම්මෙ"

හිනාවෙලා කිව්ව මං ඇදුම් මදින්න ගත්තා. මං ගෙදර ඉන්නවනම් සීතම්මට කොච්චරනම් කරදරද. වෙන කාට කියලා මං කරදර කරන්නද? පුංචි කාලෙ ඉදන් මාව බලාගත්තෙ සීතම්ම. ඒ හින්දම මගේ කරදර සීතම්මට කරදරයක් නෙමෙයි. බිත්ති ඔරලෝසුව දිහාට ඇහැ කරකවල බැලුවෙ කොච්චර වේලාසනින් නැගිට්ටත් එහෙට මෙහෙට වෙලා ලෑස්තිවෙද්දි වෙලාව යනව තේරෙන්නෙ නැති හින්ද. අදනම් පරක්කු නැහැ. එහෙන් මෙහෙන් අයන් පාරක් ගහගත්තු ඇදුමත් අරන් කාමරේට එද්දි ෆෝන් එක බෙරිහන් දෙනවා. කව්ද මේ උදේ පාන්දර මට කතාකරන්නෙ. අඩේ සුදු අක්ක මොකෝ මේ උදේ පාන්දර.

"ගුඩ් මොර්නින් සුදූ මොකෝ මේ කුකුල කරේ තියන්. නැන්ද වතුර එකක් වත් හැලුවද වේලාසනින් නැගිටින්න"

උදේ පාන්දර සුදු අක්කව ටිකක් අවුස්ස ගන්න හිතාගෙන මං එහෙම කිව්වෙ.

"අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා. කව්ද දන්නෙ නෑ අර කොහෙටද එළිය වැටෙනකම් නිදියන්නෙ"

"හෝව්, හෝව් සූදූ තරහ ගන්න එපා අනේ ඔයා ඉක්මනටම නාකිවෙයි"

"මගෙ නාකි වීමෙන් තමුසෙට වැඩක් නෑනෙ. අන්න අප්පච්චි හවසට ගෙදර එන්න කිව්ව"

දඩස්

හප්පා මේක ගිනි බෝම්බයක්ම තමයි. පොඩි වචනයක් කිව්ව ගමන් ඇති වලිගෙ පාගගන්න. මොකෝ දන්නෑ මාම හදිස්සියෙම එන්න කියන්නෙ. ඉස්කොලෙ ගිහින් එන ගමන්ම ගියානම් හරි. නැන්දගෙ බත් ටිකකුත් කාලම අවැහැකි. නැන්දටයි මාමටයි ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක්. උන් දෙන්න මට පණ ඇරල. කොච්චර උනත් මට ඉන්නෙත් ඒ හතර දෙනා විතරයිනෙ. ආ තව ටිකෙන් සීතම්මව අමතක වෙනව. 

ඉක්මනටම ලෑස්ති උන මම පහලට බැහැල සීතම්ම හදල තිබුන සැන්විච් දෙක තුනක් එක හුස්මට කාල දැම්ම. වෙනද වගේම එලියට බහින්න කලින් සීතම්මගෙ කකුල් දෙක අල්ලල වදිද්දි සුපුරුදු කදුළු කැට දෙකක් සීතම්මගේ ඇස් දෙකේ නලියනව මං දැක්ක.

"බුදුසරණයි පුංචි මහත්තය. පරිස්සමින් ගිහින් එන්න රත්තරනේ"

"සීතම්මත් පරිස්සමින් ඉන්න.  මම එන ගමන් මාමලෑ ගෙවල් පැත්තෙ යනව. එද්දි හවස්වෙනව"

"හොදයි පුංචි මහත්තය"

පාරට එනවත් එක්කම ආව ස්කූල් බස් එකේ එල්ලුනේ අදුරන එකෙක් ඉන්නවද කියල බලන ගමන්. වෙනද මේ බස් එක අතඅරින්නෙ නැති අපේ උන් එකෙක්වත් අද නැහැනෙ. මොකක්ද මේ වෙනස කියල කල්පනා කරන ගමන්ම මම ඉස්කෝලෙ ගාවින් බැහැගත්ත. ගේට්ටුවෙන් ඇතුලට එද්දිම හෙඩා එතන ඉදන් නිව්ස් එක දුන්න. හෙඩා කිව්වෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හොදේ.

"ගුඩ් මොර්නින්ග් පහන් උබ අද පරක්කුයි"

"කොහෙද බං මම පරක්කු. වෙනද එන්නෙත් මේ වෙලාවටනෙ"

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අළුත් සෙට් එක එනවනෙ"

1 comment: