Showing posts with label පහන් තාරකා. Show all posts
Showing posts with label පහන් තාරකා. Show all posts

Thursday, June 30, 2016

පහන් තාරකා - 5

ආවර්ජනා

පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තරුණයෙක්. තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන නිසාම පාසලේ සියළු දෙනම ඔහුව හොදින් දැන සිටී.


පාසලේ විනෝදයෙන් ගෙවි ගිය දවසක අවසානයේ. තාරකා සමග ඇගේ නිවස බලා යාමට පහන් බස් නැවතුම වෙත පිය නගයි.


පසුගිය කොටස්




********************************************************

“මාමා එන්න කිව්වෙ මොකටද තාරා.“

බස් හෝල්ට් එක පැත්තට යන ගමන් මම ඇහුවෙ මොන වගේ ඇග කිළිපොලා යන වැඩ කටයුත්තකට එන්ඩ කියලද දන්නෙ නෑනෙ.

“මම කොහොමද දන්නෙ. එයාගෙන්ම තමයි ඉතින් අහන්න වෙන්නෙ.“


අම්මප කිව්ව කතාව බලහල්ලකො. අක්කයි නන්ගියි දෙන්නම දන්නෙ නෑ. අක්ක නගා එකතු වෙලා මට ලනුවක් දෙන්න යනවද දන්නෑ. ඔව් ඔව් කියන්ඩ බෑ මම දෙන ලනුවලට රිටන් එකක් දෙන්ඩ යනවද දන්නෙ නෑනෙ. කෝකටත් ඇස් කන් නාසා ඇතුලු සියලුම ඉන්ද්‍රීයන් ටික අවදියෙන් තියාගෙන යන්ඩ ඕන.


ඇතුලෙ ඉන්න උන් දොරෙන් එලියට පනින්ඩ ඔන්න මෙන්න කියල තිබ්බ බස් එකට තාරකා නන්ගිවත් නග්ගල මමත් ෆුට් බෝඩ් එකේ එල්ලුනා. අහරෙන් කොදා කෑ ගහනව. දොරෙන් ඇතුල් වෙන්නලු. මුගේ ඇස් දෙකේ හොටුද මන්ද. මීට වඩා කොහෙ ඇතුල් වෙන්ඩද.


“හප්පේ යන්තන් ඇති අතපය නොකැඩී ගොඩ බැස්ස.“


“ඔයා මොකටද ඉතින් පන්ඩිතය වගේ දොරේ එල්ලිලා අාවේ ඇතුලට නගින්නෙ නැතුව.“


“දොරේ එල්ලිලා ආවෙ තමුසෙව හුලගට යයි කියල දොරෙන් එලියට. කොහෙද කියවන්න එකෙක් සෙට් උනාම මෙලෝ සිහයක් නෑනේ වට්ටි අම්මල වගේ කියෝනවනෙ.“


ඔය තියෙන්නෙ. ඕවට කියන්නෙ ඉල්ලන් කනව කියල. එනව මෙතන මාව කපන්න.



********************************************************
මාමලගේ ගෙදර ඉදල ගෙදර එද්දි 7ත් පහුවෙලා. එහෙ ගිහාම ඉතින් මට හොද සැලකිලිනෙ. මාමනම් එන්න කියල තිබ්බෙ එයාගෙ කම්පියුටරේ කැඩිල කියල හදල දෙන්න. මම ඉතින් ඔය වගේ ගැජ මැටිකල් වැඩ ටිකක් දන්න හින්ද මොනාහරි උනාම මට තමා කතා කරන්නෙ.

පැයක් විතර බාත්රූම් එකේ ඉදල එලියට එද්දි ෆෝන් එක බෙරිහන් දෙනව. හුටා මේ අපේ ක්‍රීඩා භාර සර්නෙ මොකද දන්නෑ මේ වෙලාවෙ.

“හෙලෝ“

“හෙලෝ පුතා මම ජයසිංහ සර් කතා කරන්නෙ.“

“ඔව් ඔව් සර් කියන්න මොකද මේ හදිස්සියෙ.“

“පුතා අපිට කොලෙජ් එකත් එක්ක ක්‍රීකට් මැච් එකකට ආරාධනා ලැබිල තියෙනව ඒ ගැන කියන්න මම කතා කලේ. ඔයා හෙට ඉස්කෝලෙ ආපු ගමන් ඇවිත් මාව හම්බෙන්න.“

එල එල ගොඩ දවසකට පස්සෙ හයේ හතරෙ පාරවල් ටිකක් නෙලන්ඩ චාන්ස් එකක් ඇවිත වගේ.

“හොදයි සර් මම හෙට උදෙන්ම එන්නම්.“

“ආ ඒ වගේම පහන් පුතා දැම්මම ටීම් එකේ අනිත් අයවත් දැනුවත් කරන්න. ඉස්සරහට දවස් කීපයක් ෆුල් ඩේ දාලා ප්‍රැක්ටිස් කරන්න ඕන අපි ගොඩ දවසකින් ප්‍රැක්ටිස් කලේ නෑ.“

“හරි සර් මම කට්ටියටම කියන්නම්. කවද්ද සර් මැච් එක තියනව කියන්නෙ?“

“ලබන මාසේ පස්වෙනිද. ඒ කියන්නෙ බදාදා දවසක්. මන් එහෙනම් තියනව පුතා. ඔයා හැමෝම දැනුවත් කරන්න“

“හොදයි සර් බුදු සරණයි“

“බුදු සරණයි පුතා“

ඒ ගමන්ම මම අනිත් පැත්තට ටීම් එකේ හැම එකාටම කෝල් අරන් නිව්ස් එක දුන්න. ඔය වගේ හොට් හොට් නිව්ස් එකක් දෙන එක හෙන ආතල් වැඩක්. අනික ඉතින් ගිය පාර මැච් එක අපේ උන් දුවන්ඩ කෑවනෙ. මේ පාරනම් ලොවෙත් නැතිවෙන්ඩ ගහල එන්න ඕන.

කොලෙජ් එකේ ටීම් එකට අලුත් කැප්ටන් කෙනෙක් දාලා කියලත් ආරංචියක් ආවා කියල මතක් උනේ දැනුයි. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕන.

“සීතම්මේ මට හොට් හොට් ටී එකක් සප්ලයි කරන්ඩ පුලුවන්දෝ....“

කාමරේ දොරෙන් එලියට ඔලුව දාලා මං බෙරිහන් දුන්න.

“හොදමයි පුංචි මහත්තයා“

ඒකත් හරි දැන් එතින් ඔන්න කේක් කෑල්ලක්, බිස්කට් එකක් එක්ක ටී එකක් ලැබෙනව කියල ෂුවර්. එ්කත් ඒමයි කියල මම පාඩම් කරන්න පොතක් අතට ගත්ත විතරයි පහළ තියෙන ලෑන්ඩ් ෆෝන් එක බෙරිහන් දෙන්ඩ ගත්ත. මේ වෙලාවෙ ඔය බඩකඩිත්තුවට කෝල් ගන්න එකා මොකාද???


Wednesday, July 30, 2014

පහන් තාරකා - 4

ලොකු ශාන කතාවේ හතරවෙනි කොටස ලියන්න කියල පටන් අරන් මාස ගානක් වෙනව. ලියන පාටක් නෑ වගේ හින්ද මටම වැඩේට බහින්ඩ උනා. ඒක හින්ද කතා විලාශයනම් පොඩ්ඩක් විතර වෙනස් වෙයි ගනන් ගන්න එපා හොදේ.

******************************************************
ආවර්ජනා

පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තරුණයෙක්. තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන නිසාම පාසලේ සියළු දෙනම ඔහුව හොදින් දැන සිටී. 

උසස් පෙළ සදහා නවක සිසුන් බදවා ගන්නා දින උදෑසන පාසලට පැමිණෙන ඔහු නවක අබාදිත තත්වයේ සිටින යුවතියක් මිතුරන්ගේ විහිළු තහළු වලින් ගලවා ගනී.

පසුගිය කොටස්

පහන් තාරකා - 1

******************************************************

මහ රුස්වීමට පිට්ටනියට යන්න ඕන දොළහ වසර පන්ති පහුකරගෙන. ඒ යන ගමන් මම නිම්නයගෙ ඔළුවට උඩින් ඒ පැත්ත බැලුව. බැලුව නෙමෙයි බැලුන කිව්වොත් හරි.

"මොකද මස්සිනා"

"ඇයි මොකද"

"කොහෙද උබ ඔය බලන්නෙ. ඒකි රුස්වීමට යන්න ඇති"

"කව්ද?"

මම නොදන්න ගානට ඇහුව.

"කව්ද? කියන්නෙ උබ ඔය බලන කෙනා ගැන කිව්වෙ."

"දැන් උබ කියන්නෙ මට මේ ඉස්කෝලෙ වට පිට බලන්නත් තහනම් කියලද?"

"හරි හරි මස්සිනා උබ ඕන තැනක් බලාගනින් අපිට මොකෝ."

රුස්වීම තියෙන තැනට ආව නිසා කතාව එහෙම්මම නැවතුනා. යකෝ මූ මගේ නිදහස් ස්වෛරී බාවයට බකට් එක අදින එකනෙ වැඩේ. මහ රැස්වීම තියෙන තැනට ආවමනෙ යකෝ වැඩේ. අපේ උන්ගෙ කැටයම් ගොඩයි අලුතෙන් ආපු නංගිලට බැල්ම දානව. යකෝ මුන් අද පෝලිම් හැදෙන්නෙ නැද්ද මන්ද


******************************************************


කොහොම හරි මහ රැස්වීමත් ඉවර උනා. වැඩි හරියක්ම කිව්වෙ අලුතින් ආපු ලමයිට රැග් දෙන්න එපා කියල. හනේ ඉතින් මේ ආදරණීය ගුරු බවතුන් ටිකත් අපේ උන්ටමනෙ ඕක කියන්නෙ. කියන එකක් අහයි කියලද?

" අඩේ බන් ආට් එකටත් සිරා කෑලි ටිකක් ඇවල්ල බන්"

රැස්වීම ඉවර වෙලා පන්තියට යද්දි කොහෙද ඉදන් දුවල ආපු විශ්වය කිව්ව. මූ ජාති ජාතිත් කුකුළනෙ. පේන විදිහට සෙක්සන් වලින් එකා ගානෙ දාගන්ඩද කොහෙද කල්පනාව.

"සිරා බැරින් මොන ජාතියෙ උන් ආවත් අපිට මොකෝ බන් උන් ආවයි කියල අපේ පැත්තක් යන්නෑනෙ"

මන් දාපු කැපිල්ලට විශ්වයගෙ මූන හතරැස් උනා. මන් ගැන දැන දැනත් මට ඕව කියන්න ආවෙ අපරාදේ කියල උට හිතෙන්න ඇති. පොත් අතරෙයි සමීකරණ අතරෙයි අතරමන් වෙලා දවස හෙමීට ගෙවිල ගියා. අලුත් ලමයි නෙමේ අලුත් ජනාදිපති ආව කිව්වත් මේ ගුරුවරු උගන්නන එක නවත්තන් නැති එකනේ වැඩේ. ඉස්කෝලෙ ඉවරවෙන බෙල් එකත් ගහල ලමයි සූසූ ගාලා පෝලින් වලට යන්ඩ පොර කන අස්සෙ කොහෙදෝ ඉදන් තාරකා නංගි දුවගෙන ආවා.

"පහන් අයියෙ මන් ගේට්ටුව ලග ඉන්නව ඔයා එනකම් හොදේ. ඒක නෙමේ කෝ අර අක්ක?"

"මොන අක්කද?"

"ඇයි අනේ අර උදේ ඔයා මාත් එක්ක පන්තියට යැව්වෙ"

ඇත්තට එයා මොකද තාම ගියෙ නැත්තෙ. කකුලත් ඩැමේජ් එකේ පෝලිමේ යන්නැතුව ගියා නම් ඉවරනෙ.

"කෝකටත් තාරා 12 පන්ති පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්නකො යන්න කවුරුවත් නැද්ද දන්නෙ නෑනේ. අලුතින් ආපු හින්ද බයත් ඇතිනෙ"

තාරකා නංගි 12 වසට පැත්තට ගියාට පස්සෙ අනිත් පැත්ත හැරෙද්දි නිම්නය හිකි හිකි ගාල හිනාවෙනව. මොන අවනඩුවක්ද බොලේ මේ. කවුරුහරි මගේ පිටේ කොල කෑල්ලක්වත් අලෝලද?

"මොකෝ බන් හිනා වෙන්නෙ"

"නෑ බන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන්නැති උබට මොකද උනේ කියල කල්පනා කරද්දි හිනා යනව බන්"

"මන් කිව්ව කියල හිතාගනින්"

ඇයි අප්පේ අර අසරණ ලමයට උදව් කරන්ඩ කිව්ව කියල මුන් මාව මරන් කන්න හදන්නෙ. මුන්ගෙ පපු කැනැති වල අනුකම්පාවක් කියල එකක් නැද්ද කොහෙද.

අපි ගේට්ටුව ලගට ඇවිල්ලත් ටික වෙලාවක් ගියා කෝ බොලේ මේ තාරා. ඇයි වදේ මන් එනකන් ගේට්ටුව ලග ඉන්නම් කිව්වනෙ. ඒ අස්සෙ නිම්නය දාගෙන මට ඇගිල්ලෙන් අනිනව.

"මොකද යකෝ අනින්නෙ"

"අර බලපන්"

මම නිම්නය පෙන්නපු පැත්ත බැලුව. තාරකා නංගි අර ක්ලචර්ස් නංගිත් එක්ක එනව. තාරා ආවේ එයාගෙ බෑග් එකත් අරන්. මාව දැකල දුරදිම ඒ මූනෙ හිනා මලක් පිපුනා. අපි ඉන්න තැනට එයාල එද්දම කවුදො දාර සයිස් පොරක් අපිව පහු කරන් ගිහින් එයාලත් එක්ක මොනාදෝ කියෙව්වා. අර නංගිත් මාව පෙන්නල මොනාදේ කිව්ව. මොනාද අප්පේ මේ වෙන්න යන්නෙ. ඊට පස්සෙ තාරා අතේ තිබ්බ බෑග් එකත් අරන් අර නංගිවත් එක්කන් අපි ඉන්න පැත්තට ආවා. මන් හිතන්නෙ කෙල්ලගෙ තාත්තද කොහෙද එක්කන් යන්න එන්න ඇති. කෙලින්ම අපි ලගට ආපු එයාල අපි ලගින් නැවතිල මන් දිහා බැලුව.

"පුතයි මේ දුවවයි අපේ දුවව රැග් වලින් බේර ගත්තලු නේද? ගොඩක් ස්තූතියි පුතා මම බයෙන් හිටියෙ දූට හරියට ඇවිදින්නත් බැරි හින්ද"

අහස ගොරවනව බර කටහඩකින් ඒ අංකල් කතා කලේ. අප්පේ ගොරවන ගෙරවිල්ලට වහීද මන්ද.

"ඕක මොකද්ද අංකල් නංගිගෙ තැන ඒ වෙලාවෙ කවුරු හිටයත් ඔය වගේ වෙලාවට අපි අසරණ වෙන්න දෙන්නෙ නෑ"

මාත් වීරය වගේ කියල දැම්ම. ලොකු හිනාවකින් මූන පුරෝගෙන යන්නම් පුතා කියාල එයාල අපි ඉන්න තැනින් ගියා.

"යන්නම් අයියෙ"

රෝස මල් හිනාවකුත් දාලා එයා කිව්ව. අනේ අම්මෙ මේ හිනාව අරන් ගියානම් මල් බොකේ එකක් හදන්න තිබ්බ. ෂික් මටත් මොනා හිතෙනවද මන්ද.

එයාලත් ගියාට පස්සෙ නිම්නය ගෙදර යන්න ගියා. මම තාරකා නංගිත් එකක් බස් හෝල්ට් එක පැත්තට ඇවිදන් ගියා.


******************************************************

පොටෝව ඉස්සුවෙ මෙතනින්
http://fc08.deviantart.net/fs70/f/2010/257/4/2/novel__school_love_2_by_raykit-d2ypoji.jpg

Wednesday, August 21, 2013

පහන් තාරකා - 3

ආවර්ජනා


පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ්‍යාපනය හදාරන තරුණයෙක්. තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන නිසාම පාසලේ සියළු දෙනම ඔහුව හොදින් දැන සිටී. උසස් පෙළ සදහා නවක සිසුන් බදවා ගන්නා දින උදෑසන පාසලට පැමිණෙන ඔහු නවක අබාදිත තත්වයේ සිටින යුවතියක් මිතුරන්ගේ විහිළු තහළු වලින් ගලවා ගනී.

මේ අබාදිත යුවතිය කව්ද?

අද එතැන් සිට.

පසුගිය කොටස්

පහන් තාරකා - 1
පහන් තාරකා - 2

*********************************************************************************

ඇත්තටම මේ කව්ද?

අලුතින් ආව ළමයෙක් වෙන්න ඕන. නැත්නම් ඉතින් දැකල තියෙන්න ඕනනෙ. ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙනම මම එයා දිහා බැලුව. නිම්නයි, තාරකා නංගියි දෙන්නත් දෙපැත්තෙන් ඉදන් එයා දිහා බලන් ඉන්නව මම ඇස් කොනින් දැක්ක.

කදුළු පිරිච්ච ඇස් දෙක පිහදාන ගමන් එයා අපි දිහා බැලුව.

"තැන්කියූ අයියෙ ඔයාට. මම කේතකී. අලුතින් ආවෙ සයන්ස් එකට"

"අලුතින් ආවහම මෙහෙම දේවල් වෙනව කියල දන්නෙ නැද්ද? අනික කකුලත් බැරුව ඔහොම ඇවිදින්න යනවද?"

මම ටිකක් තදින් ඇහුව.

"මම උදේට කාල අවේ නෑ. කැන්ටින් එකට යන්න හන්ද ආවෙ"

"බබා මේ කෙල්ලව කැන්ටින් එකට එක්කන් ගිහින් පංතියට ගිහින් ඇරලවනවද? කව්රු හරි ඇහුවොත් ඔයාලගෙ අක්ක කෙනෙක් කියන්න"

මම තාරකා නංගිට කිව්ව.

"එන්න අක්කි අපි යන්"

"ආයෙ සැරයක් තැන්කියූ අයියෙ ඔයාට මාව බේර ගත්තට."

"හ්ම්, දැන් යන්න. බබා මෙයාව හොදට බලා ගන්න"

"හරි හරි මම බලා ගන්නම්. අපි යනව. හවස මාත් එක්කම ගෙදර යන්න ඉන්න හොදද"

ඒ දෙන්නට යන්න ඇරල. මම නිම්නත් එක්ක පංතිය පැත්තට ඇවිදගෙන ගියා.

"ආව් ආව් කොල්ල වීරය උනා එහෙනම්"

නිම්න කෑ ගහන්න ගත්ත.

"යකෝ කෑ නොගහ හිටු. මං වීරයෙක් වෙන්න ගියෙ නෑ. වීරයා තව ටිකෙන් ඉස්පිරිතාලෙ අරක වැදුනනම්."

"හරි හරි බං ඕකට ඔච්චර තරහ ගන්න ඕන නැහැනෙ"

පංතියට එනකම්ම නිම්නය ආයෙ කතා කරේ නැහැ. මං හොරෙන් ඌ දිහා බැලුවෙ පුරුද්දක් විදිහට එහෙම නිශ්ෂබ්දව ඉන්න එකෙක් නෙමේ හින්දයි.

"පහන්"

පොත්ටික මේසෙ උඩින් තියෙන ගමන් නිම්නය කතා කලා.

"ඇයි"

"ඒ කෙල්ල ඇත්තටම ලස්සනයි මචං. උබට සිරාවටම මැච් වෙනව"

"මේ මගෙන් මුකුත් අහගන්න එපා. ඔච්චරටම ලස්සනනම් උබ දාගනින් මම උබට උදව් කරන්නම්"

"නෑ පහන් මම ඇත්තටම කිව්වෙ. ඒ වගේ ලස්සන කෙල්ලෙක් ගැනපෙන්නෙ උබ වගේ හැන්ඩියෙකුටම තමා. මම වගේ බයියෙකුට නෙමේ"

මම මුකුත් කියන්න ගියෙ නැත්තෙ නිම්න ඒක කිව්වෙ සිරාවටම කියල මට තේරුන හින්ද. මම ඒ රුව මතක් කරගන්න උත්සහයක් ගත්ත. උස අඩි පහක් විතර ඇති මගෙ හිතේ ඊට වඩා වැඩි වෙන්නනම් විදිහක් නෑ. රවුම් මුහුණ සිහින් දිගටි ඇස් දෙක. ශික් මොනවද මම මේ කල්පනා කරන්නෙ. කවදාවත් කෙල්ලෙක් ගැන ඕනාවට වඩා හිතන්න ගියෙ නැති මම දැන් ටිකකට කලින් දැක්ක කෙල්ලෙක් ගැන මොනවට මෙච්චර කල්පනා කරනවද. මම ඉස්සරහ බලද්දි නිම්නය හිනා වෙවී මගෙ දිහා බලන් ඉන්නව.

"මොකද උබ හිනා වෙන්නෙ"

"උබේ මූණෙ පෙරහැරක් යනව. ඒක දිහා බලන් හිටියෙ"

"උබට මම"

මම නැගිටිද්දි ඌ පංතියෙන් එලිය දුවලත් ඉවරයි. මමත් ඒ පස්සෙන්ම පංතියෙන් එලියට ආව. ඒත් එකම පාසල ආරම්භ කරන සීනුව නාද උනා. අද සදුද නිසා ප්‍රධාන රුස්වීම තියෙනව. මම නිම්නත් එක්ක ඒ පැත්තට ඇවිදගෙන ගියා.

*********************************************************************************
ප.ලි. ටික දවසක් ලිව්වෙ නැති හින්ද ලියවිල්ලේ රටාව වෙනස් උනාද මන්ද. එහෙම උනානම් සොරි වෙන්න ඕන. අනික ටිකක් කෙටිත් උනා. ඉක්මනින්ම අනිත් කොටසත් අරගෙන එන්නම්.

පොටෝව ගත්තෙ මෙතනින් -
http://www.theanimegallery.com/data/thumbs/370px/0126/tAG_126319.jpg

Thursday, August 1, 2013

පහන් තාරකා - 2

පළමු කොටසින්

පාරට එනවත් එක්කම ආව ස්කූල් බස් එකේ එල්ලුනේ අදුරන එකෙක් ඉන්නවද කියල බලන ගමන්. වෙනද මේ බස් එක අතඅරින්නෙ නැති අපේ උන් එකෙක්වත් අද නැහැනෙ. මොකක්ද මේ වෙනස කියල කල්පනා කරන ගමන්ම මම ඉස්කෝලෙ ගාවින් බැහැගත්ත. ගේට්ටුවෙන් ඇතුලට එද්දිම හෙඩා එතන ඉදන් නිව්ස් එක දුන්න. හෙඩා කිව්වෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හොදේ.

"ගුඩ් මොර්නින්ග් පහන් උබ අද පරක්කුයි"

"කොහෙද බං මම පරක්කු. වෙනද එන්නෙත් මේ වෙලාවටනෙ"

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අලුත් සෙට් එක එනවනෙ"

*********************************************************************************

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අලුත් සෙට් එක එනවනෙ"

"අඩේ අදද අලුත් සෙට් එක එන්නෙ"

හෙඩා කිව්වට පස්සෙ තමයි මට ඒකත් මතක් උනේ. ඔළුවෙ මොනාවානම් තියෙනවද දන්නෙ නැහැ. මං මටම බැන බැන පිට්ටනිය අයින දිගේ පංතිය පැත්තට ඇවිදගෙන ගියා.

"පහන් අයියෙ ගුඩ් මොර්නින්"

පොඩිඋන් ටිකක් කෑ ගහගෙන දුවගෙන ගියා. පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිසත් ඕනෑම පොදු වැඩකදි කරදීල වැඩ කරන නිසත් පාසලේ හැමෝම වගේ මාව අදුරනවා. හැමෝම හිතාගෙන හිටියෙ මම හෙඩ් ප්‍රිෆෙක්ට් වෙයි කියල. ඒත් සැහැල්ලුවෙන් ගෙවෙන ජීවිතේ ඒ වගේ වගකීමක් එක්ක හිරකරගන්න මම කැමති උනේ නැහැ. ඒ හින්දම ප්‍රිෆෙක්ට් කමක්වත් ගන්න මම කැමති උනේ නැහැ. ඒත් ක්‍රීඩාව නිසාම මුලු පාසලම මාව දැනගෙන හිටිය. ඒකත් එක අතකින් හරි කරදරයක්. කොහෙ ගිහින් මොනව කරත් පහුවදා වෙද්දි මුලු ඉස්කොලෙම ඒක දන්නව.

"පහන් පහන්"

කොහෙදෝ ඉදන් කෑ ගහගෙන ආව නිම්නත් මාත් එක්ක සෙට් උනා.

"පහනා, පට්ට කෑලි ටිකක් ඉන්නව මචං අලුත් බැජ් එකේ"

"ආයෙ ඔය සෙට් එකේ අලුත් උන් ඉන්නවද බං ගිය අවුරුද්දෙ ඕලෙවල් කරපු උන්ම තමා"

"පිස්සුද බං දැකලම නැති කෑලි ටිකක් ඉන්නව"

"උබටත් ඉතින් ගවුම් කෑල්ලක් දැක්කොත් ඉතින් ඉන්න බැහැනෙ"

"මේ තොට කෙල්ලො අරහන් උනාට මට කරන්න දෙයක් නෑ ඒකට"

නිම්නයට මල පැනල කොහොමත් ඌ හිත හොද එකා මගේ ජීවිතේ එදා ඉදන්ම ලගින් හිටපු එකෙක්. බොක්කෙ තියෙන දේවල් උනත් ඇදල දෙන ජාතියෙ එකෙක්. මං ලග ඉන්න ගොඩක් දෙනෙක් මේ වගේ. ජීවිතේ සමහර දේවල් නැති වෙද්දි තවත් සමහර දේවල් ඕනවටත් වඩා මට හම්බෙලා තියෙනව. 

මම නිම්නගේ කරට අතක් දා ගත්ත.

"හරි හරි මස්සිනා උබට ඕන කෙල්ලව පෙන්නපන් මම සෙට් කරල දෙන්නම්."

ඌ මං දිහා බැලුවෙ මං කියපු දේ විශ්වාස කරගන්න බැරුව. මට හිනා යන්න ආවත් මේ වගේ වෙලාවකට හිනව පාලනය කරගන්න හොද හැකියාවක් මට තිබුන.

"උබ සිරාවටමද ඔය කියන්නෙ"

"අනිව. මේ පහන් කවදද මල්ලි උබට බොරු කියල තියෙන්නේ ආ"

"එල මචං එල"

ඌ ඒක සිරාවටම ගත්ත වගේ. මේන් හොල් එක අයින දිගේ අපි පන්ති පැත්තට ඇවිදගෙන ගියා. තව අවුරුද්දයි ඉස්කෝලෙ යන්න තියෙන්නෙත්. ඒකත් ඒපැත්ත බලල මේ පැත්ත බලද්දි ගෙවිල යයි. ඊටපස්සෙ මොනාකරන්නද කියල හිතා ගන්නවත් බැහැ.

"පහන් ඔන්න"

අපි හිටියෙ මේන් හොල් එක කෙරවලෙන් අනිත් පැත්තට හැරෙන ගමන්. නිම්නගෙ සද්දෙට මං ඉස්සරහ බලද්දි. ක්ලචර්ස් එකක් උඩින් එනව දැක්ක. මුකුත් හිතන්නත් කලින් ඒක ඇවිල්ල කකුල් දෙක ලග වැටුන. තව ටිකක් එහා මෙහා උනානම් බඩුම තමා. මොකාද යකෝ මෙකෙන් දමල ගහපු එකා. ඇවිදින්න බැරිව මදිවට තව ගහන්නත් එනවා. හිතේ ඇතිවෙච්ච තරහ තද කරගෙන මම ඉස්සරහ බැලුවෙ කව්ද චන්ඩිය කියල දැන ගන්න. අනික ඉතින් හැංගිලා ගහන්න තරම්වත් මට තරහ කාරයෙක් නම් හිටියෙ නැහැ. 

ඉන්ටර්නෙට් ලයිබ්‍රිය ලග අපේ සෙට් එකක් කෙල්ලෙක්ව වට කරගෙන. ෂුවර් එකට රුග් එකක් වෙන්න ඕන. ඒත් මේ ක්ලචර්ස් එක. හිතට නැගිට්ට ප්‍රශ්නෙත් එක්කම ඒකත් අහුලගෙන මම අපේ සෙට් එක ලගට ගියා. ක්ලචර්ස් එකත් අරන් මම එතනට යද්දිනම් අපේ උන්ගේ මූණූ ටිකක් අප්සට් යනව වගේ මට තේරුනා. ඉන්ටර්නෙට් ලයිබ්‍රියෙ බිත්තියට හේත්තුවෙලා ඉන්න පුංචි කෙල්ල දිහා මම බැලුවා. ඒ කෙල්ලගෙ කකුල බැන්ඩේජ් කරල. ඒ කියන්නෙ මේ ක්ලචර්ස් එක.............

වෙලා තියෙන්නෙ මොකද්ද කියල මොහොතකින් තේරුම් ගන්න මට පුලුවන් උනා. මම අපේ උන් දිහා බැලුවෙ ඇත්තටම තරහින්. මොනව උනත් මේ කෙල්ල ඇවිදින්නත් අමාරුවෙන් ඉන්නෙ නේද කියලවත් හිතන්න එපැයි. අපේ උන් එකා දෙන්න ෂෙප් වෙලා යනව උන්ටත් තේරෙන්න ඇති මට තරහ ගිහින් කියල. මට ලේසියෙන් තරහ යන්නෙනම් නැහැ. හැබැයි ආසාදරනේ, වැරුද්ද පෙන්නන්න බැහැ. ඒ වෙලාවට ඉතින් අම්මද අප්පද කියල නැහැ. උන්ටික මාරු උනාට හිතේ තරහනම් අඩු උනේ නැහැ.

"ඇවිදින්නත් බැරිනම් මොන මගුලටද පන්තියට වෙලා ඉන්නෙ නැතුව එලියට ආවෙ. අලුතෙන්ම ආවනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න තේරෙන්නෙ නැද්ද?"

මම මගේ තරහ ඒ කෙල්ලගෙ පිටින්ම දිග ඇරල දැම්ම. අඩන්න ලංවෙලා තිබුනු ඇස් දෙකෙන් සට සට ගාල කදුළු කැට කඩන් වැටෙන්න ගත්ත. ඉතින් තියා ගත්ත අඩන්න. අම්මපා මේ කෙල්ලන්ට අඩනව ඇරෙන්න වෙන දෙයක් කරන්නම බැරිද හැබෑට. මේ ඇඩිල්ලනම් මට පෙන්නන්නම් බෑ. මම කෙල්ලන්ට අකමැති වෙන්න මේකත් එක හේතුවක්.

"පහන් පහන්"

නිම්නට අයෙත් කෑ ගහනවා.

"මොකද බං"

මම නිම්නය බලන් ඉන්න දිහා බැලුව. ආ මෙයත් මෙහෙ. මගෙ නෑන පොඩ්ඩ. මාමගෙ පොඩි දොණියැන්ද.

"පහන් අයියෙ ඇයි මේ"

"අපේ උන්ගෙ වැඩ තමා තාරා. මේ කෙල්ලට ඇවිදගන්නත් බෑ අපේ උන් රුග් කරන්න හදනවා. මෙයටත් ආව අලුත පන්තියට වෙලා ඉන්නෙ නැතුව ඇවිදින්න යනව"

"මේ කව්ද මේ"

ඈ ඇත්තටම කව්ද මේ ගෑණු දරුව.

Thursday, July 18, 2013

පහන් තාරකා



ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ
රසවන්තී මිහිරියේ.........

නිදිමත වැක්කෙරෙන ඇස්දෙක ලාවට වගේ ඇරලා බැලුවෙ උදේ පාන්දර සිංදු දාන්න තරම් මොලේ අමාරුකාරය කව්ද කියල දැන ගන්න. මම ඇරෙන්න වෙන කව්ද මේ ගෙදර සිංදුවක්වත් දාන්නෙ. මල මගුලයි මේ මගෙ ෆෝන් එකේ එලාම් ටෝන් එක නේද කියල මතක් උනේ පස්සෙයි. ඇද වටේ අත ගලා ෆෝන් එක හොයා ගත්ත මම එලාම් එක ඕෆ් කරලා දාල අයෙත් කොට්ටෙ බදා ගත්ත. හප්පා පට්ට නිදිමතයි. තව පැය දෙක තුනකටවත් නැගිටින්නෙනම් නෑ කියල හිතගෙන ඇස් දෙක තද කරල පියා ගත්ත. විනාඩි දහයක් විතර නින්ද යන්න ඇති.

ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ
රසවන්තී මිහිරියේ.........

මොන මගුලක්ද මේ දැන් එක සැරයක් එලාම් එක ඕෆ් කලානෙ. අමාරුවෙන් ඇස් දෙක ඇරල ෆෝන් එක දිහා බැලුවෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න. එලාම් එක ඕෆ් වෙලා නැහැනෙ. ඇස් දෙක වහගෙන වෙන බට්න් එකක්නෙ ඔබලා තියෙන්නෙ. ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තිබුන දිනේ අහම්බෙන් වගේ ඇහැ ගැහුනෙ ඒ වෙලාවෙයි. අඩේ අද සදුදද ඉස්කොලෙ යන්නත් එපැයි මම හිතාගෙන හිටියෙ ඉරිද කියලානෙ. කොහෙද ඉතින් මතක් කරල දෙන්නවත් කවුරුත් ඉන්න එකක්යෑ. ඉක්මනින්ම ඇදෙන් බැහැල බාත්රූම් එකට දුවන ගමන් මම කාමරෙන් ඔළුව දාලා පල්ලෙහාට කෑ ගැහුව.

"සීතම්මේ තේ එකක් හදන්නෝ"

"මේ ගේනව පුංචි මහත්තයා"

බාත්රූම් එකට දුවලා වොෂ් එකක් දාගෙන එද්දි සීතම්ම කිරි එක කාමරේටම ගෙනත් තියල තිබුන. හුටා රෙදි මැදලත් නෑනෙ. කිරි එක එක හුස්මට බීල අල්මාරියෙන් යුනිෆෝර්ම් එක ගත්ත මං දිව්ව අයන් බොර්ඩ් එක ලගට. ඒ ගමන් ආයෙත් පහලට ඔළුව දාල සීතම්මට කෑ ගැහුව.

"සීතම්මේ සැන්විච් දෙකක් හදනවද මට කලා යන්න"

"දෙකක් ඇතෑ පුංචි මහත්තයට"

සීතම්ම දන්නව මම ඔය දෙකක් හදන්න කිව්වට කන්න ගත්තහම දෙකෙන්නම් නතර වෙන්නෙ නැහැ කියල.

"ඔන්න ඔහෙ එහෙනම් තුන හතරක්ම හදන්නකො සීතම්මෙ"

හිනාවෙලා කිව්ව මං ඇදුම් මදින්න ගත්තා. මං ගෙදර ඉන්නවනම් සීතම්මට කොච්චරනම් කරදරද. වෙන කාට කියලා මං කරදර කරන්නද? පුංචි කාලෙ ඉදන් මාව බලාගත්තෙ සීතම්ම. ඒ හින්දම මගේ කරදර සීතම්මට කරදරයක් නෙමෙයි. බිත්ති ඔරලෝසුව දිහාට ඇහැ කරකවල බැලුවෙ කොච්චර වේලාසනින් නැගිට්ටත් එහෙට මෙහෙට වෙලා ලෑස්තිවෙද්දි වෙලාව යනව තේරෙන්නෙ නැති හින්ද. අදනම් පරක්කු නැහැ. එහෙන් මෙහෙන් අයන් පාරක් ගහගත්තු ඇදුමත් අරන් කාමරේට එද්දි ෆෝන් එක බෙරිහන් දෙනවා. කව්ද මේ උදේ පාන්දර මට කතාකරන්නෙ. අඩේ සුදු අක්ක මොකෝ මේ උදේ පාන්දර.

"ගුඩ් මොර්නින් සුදූ මොකෝ මේ කුකුල කරේ තියන්. නැන්ද වතුර එකක් වත් හැලුවද වේලාසනින් නැගිටින්න"

උදේ පාන්දර සුදු අක්කව ටිකක් අවුස්ස ගන්න හිතාගෙන මං එහෙම කිව්වෙ.

"අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා. කව්ද දන්නෙ නෑ අර කොහෙටද එළිය වැටෙනකම් නිදියන්නෙ"

"හෝව්, හෝව් සූදූ තරහ ගන්න එපා අනේ ඔයා ඉක්මනටම නාකිවෙයි"

"මගෙ නාකි වීමෙන් තමුසෙට වැඩක් නෑනෙ. අන්න අප්පච්චි හවසට ගෙදර එන්න කිව්ව"

දඩස්

හප්පා මේක ගිනි බෝම්බයක්ම තමයි. පොඩි වචනයක් කිව්ව ගමන් ඇති වලිගෙ පාගගන්න. මොකෝ දන්නෑ මාම හදිස්සියෙම එන්න කියන්නෙ. ඉස්කොලෙ ගිහින් එන ගමන්ම ගියානම් හරි. නැන්දගෙ බත් ටිකකුත් කාලම අවැහැකි. නැන්දටයි මාමටයි ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක්. උන් දෙන්න මට පණ ඇරල. කොච්චර උනත් මට ඉන්නෙත් ඒ හතර දෙනා විතරයිනෙ. ආ තව ටිකෙන් සීතම්මව අමතක වෙනව. 

ඉක්මනටම ලෑස්ති උන මම පහලට බැහැල සීතම්ම හදල තිබුන සැන්විච් දෙක තුනක් එක හුස්මට කාල දැම්ම. වෙනද වගේම එලියට බහින්න කලින් සීතම්මගෙ කකුල් දෙක අල්ලල වදිද්දි සුපුරුදු කදුළු කැට දෙකක් සීතම්මගේ ඇස් දෙකේ නලියනව මං දැක්ක.

"බුදුසරණයි පුංචි මහත්තය. පරිස්සමින් ගිහින් එන්න රත්තරනේ"

"සීතම්මත් පරිස්සමින් ඉන්න.  මම එන ගමන් මාමලෑ ගෙවල් පැත්තෙ යනව. එද්දි හවස්වෙනව"

"හොදයි පුංචි මහත්තය"

පාරට එනවත් එක්කම ආව ස්කූල් බස් එකේ එල්ලුනේ අදුරන එකෙක් ඉන්නවද කියල බලන ගමන්. වෙනද මේ බස් එක අතඅරින්නෙ නැති අපේ උන් එකෙක්වත් අද නැහැනෙ. මොකක්ද මේ වෙනස කියල කල්පනා කරන ගමන්ම මම ඉස්කෝලෙ ගාවින් බැහැගත්ත. ගේට්ටුවෙන් ඇතුලට එද්දිම හෙඩා එතන ඉදන් නිව්ස් එක දුන්න. හෙඩා කිව්වෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හොදේ.

"ගුඩ් මොර්නින්ග් පහන් උබ අද පරක්කුයි"

"කොහෙද බං මම පරක්කු. වෙනද එන්නෙත් මේ වෙලාවටනෙ"

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අළුත් සෙට් එක එනවනෙ"