Showing posts with label ලොකු ශානාගේ සිතුවිලි. Show all posts
Showing posts with label ලොකු ශානාගේ සිතුවිලි. Show all posts

Thursday, July 25, 2013

අම්මපා දේශපාලන ලිපියක් හෝ විචාරයක්නම් නොවේ

පෙර පෝස්ටුවක සදහන් කල පරිදිම ලොකු ශානා දේශපාලනය ගැන කතාකරන්නේම නැත. පසුගිය දිනවල දේශපාලන කරලියේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්දියේදී බ්ලොග් කිහිපයකම ඒ ගැන ලියවෙද්දී මුහුණු පොතේ විවිද කතන්දර ගෙතෙද්දී ලොකු ශානා නිහඩවම සිටියේ ය. නිහඩතාවය තවදුරටත් දාරාගෙන සිටිය නොහැකි සිද්දියක් අද සිදු විය. දෙරණ රේඩියෝවේ අනුපම නොහොත් අන්කල්ගේ ගීතයක් එයට හේතු විය. ඇත්තටම පුද්ගලික අදහස කෙසේ වෙතත් ගීතය ගැන කතාකරන්නට සිතුනි. ගීතයනම් පට්ටම පට්ටය. දේශපාලනට කේසේ වෙතත් රචකයා එය නියමෙටම නිර්මාණය කර ඇත. වැඩිදුර කතාකරන්නට කලින් ගීතය අසා සිටිනේනම් හොදය.


දේශපාලන විචාරයක් කරන්නේනම් නැත. එහෙත් දයාසිරිගේ පක්ෂ මාරුව දේශපාලන කරලියේ ආන්දෝලනාත්මක සිද්දියක්ම විය. තවත් සිනහ උපදවන සිද්දියක් ඒ අස්සේ අසන්නට ලැබුනේය. කිසිදිනක දයාසිරි පක්ෂය හැර නොයන්නේය, එසේ ගියහොත් යට ඇදුම පිටින් පාරේ ඇවිදින්නේ යැයි ඔට්ටුවක් ඇල්ලූ පුද්ගලයෙකු ගැනය. ඔට්ටුව පැරදුන ඔහු යට ඇදුමින් පාරේ යන්නට ගොස් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. සියල්ල දෙස බලා සිටීමේදී වැටහෙන්නේ පක්ෂමාරුව දේශපාලන කරලියේ මෙන්ම සාමාන්‍ය ජීවිතයේද අන්දෝලනාත්මක සිද්දීන් වන බවය.

අවසන් වරට කියන්නට ඇත්තේ පෙර ලෙසම මෙය දේශපාලන ලිපියක් හෝ විචාරයක්නම් නොවේ. නමුත් සංවාදයට විවෘතය.

Monday, July 22, 2013

සත්තයි විවේචනයක් නම් නොවේ

ලොකු ශානා දේශපාලනය ගැන කතාකරන්නේම නැත. පුද්ගලික අදහස් කෙසේ උවත් ඒ පිළිබද කෑගසා කියන්නට යන්නේ නැත. කාලයක් තිස්සේ මුහුණුපොතේ සිටියද, මසකට වඩා කාලයක් පුරාවට අටවාගත් බ්ලොගයේ විවිධ මාර්තුකා හරහා පෝස්ටු ලිව්වද දේශපාලනයට ලගින් හෝ යන කිසිවක් ලිව්වේ නැත. පසුගිය කාලය තුල සියලූම මාධ්‍ය හා බ්ලොග් ලෝකයේ බොහෝ දෙනෙකු කතාකල මාර්තුකාවක් වූවේ "ගුරුවරියක් දන ගැස්වු" සිද්දියයි. බොහෝ දෙනා විවිධ මත පලකරද්දී සියල්ල හොදින් කියවමින් ලොකු ශාන නිහඩවම සිටියේ පුද්ගලික මතය හිත ඇතුලේම රදවාගෙනය. මේ සිද්දිය සියල්ලන්ටම සිහිගන්වන සිද්දියක් ඊයේ දිනයේ සිදුවිය. 

ලොකු ශානාගේ අතිජාත මිතුරෙකුගේ නිවසේ රාත්‍රී භෝජනයකට ආරාධනාවක් ලැබුනි. රාත්‍රී අටට පමණ තවත් මිතුරෙකු සමග ඔහුගේ නිවසට ගිය මට අඩපැයක ටෙලිනාටක කොටසක් දකින්නට ලැබුනි. අමතකව ගිය සිද්දිය මතකයට නැගුනේ එවෙලෙහිය. කිසිදිනක දේශපාලනය ගෑවීවත් ඇති දෙයක් සම්බන්දව පෝස්ටුවක් කොටන්නට අදහසක් සිත්කොනකවත් නොතිබුනද මේ පිළිබදව නොලියා ඉන්නට ගත් උත්සාහය බිදදමමින් ලියපන් ලියපන් යැයි හිත කියන්නට වූ බැවින්ම ලියන්නට සිතුවේය.


කෝපි කඩය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකීයයන් ආදරයෙන් වැලදගත් කතාමලාවක් බව නොරහසකි. මතක ඇති කාලයක පටන් කෝපි කඩය ගැන මම අසා ඇත. විටින් විට නරබා ඇත. එදිනෙදා සිදුවන සිදූවීම් මුලකරගෙන ඒ වටා ගෙතෙන්නාවූ කතන්දරයක් හරහා රසික හිත්වලට පණිවිඩයක් දෙන්නට ගන්නා උත්සාහයක් ලෙස අදටද කෝපි කඩය මම දකින්නේය. යම් යම් දේවල් සාදාරණීය කරනය කරන්නට උත්සාහ ගන්නා අවස්තාද ඉදහිට දකින්නට නැතුවාම නොවේය. ඒවායින් වැඩක් නැත මේ ඊයේ දිනයේ අහම්බෙන් නෙත ගැටුන කෝපි කඩයේ කතාවයි.

සත්‍යලෙස සිදුවූ කතාවට ලෙසටම ගැනපෙන්නට මන්තිරියාගේ පුත්තරයාට පාසලේ ඉංගිරීසි ගුරා පහර දී ඇත.(දඩුවම්කර ඇත්තේ කිසියම් පුංචි වැරද්දකටය)  සිද්දිය ආරම්භ වන්නේ ඉන් පසුවය. ඉංගිරීසි ගුරා පිටගම් කාරයෙකි. ඔහුත් සමග පුද්ගලික අමනාම කම් ඇති දෙතුන් දෙනෙකු මෙයින් ප්‍රයෝජන ගන්නට උත්සාහ ගනී. ගමේ හයි කාරයෙකුත් උසිගන්වාගෙන ගමපුරා කැලෑපත්තර ගසයි. පිකටින් එකකටද සූදානම් වෙයි. කොළඹ සිටින මන්තිරියාට සිද්දිය ආරන්චි වූ විට ඔහු තම ලේඛම්ට පවසන්නේ තමන් එන තුරු කිසිවක් සිදුවන්නට නොදෙන ලෙසයි. කුහුල වැඩි වන්නේ එවිටය. සත්‍ය සිද්දියද මතකයට නැගුනේ එවේලේයි. ඒ අස්සේ ඇඩ් දෙක තුනක්ද යයි. වැරදුනාය කතාව යන්නේ ඇඩ් අස්සේය.

ගුරාට පක්ෂ කිහිප දෙනෙකුත් ගමේ සිටී. ඒ ගමේ දැනමුත්තන්ය. ගුරාට විරුද්දව කැලෑපත්තර ගැහුවාට ගුරුවරු වැඩ වර්ජනය කලේ නැත. ඒ අතින් ඔවුන් නියමය. කට්ටිය ගුරාගේ ගෙදර සාකච්චාවකය. පිකටින් එක කරන්නන් ගුරාගේ ගේ ඉදිරියටම පැමිණ කෑ ගසයි. පිකටින් එක පටන්ගන්නට පෙර සිදුවූ සාකච්චාවක් මතකයට එන්නේ දැන්ය. 

"ඔය පිකටින් කරන එක මහලොකු වැඩක් නෙමේ කෑ ගහන්න ඕන ටික ටයිප් කරල ප්‍රින්ට් කරා බෙදල දුන්න. ඕකට එන උන් කෑ ගහන්නෙ ඒක බලාගෙන. තියෙන්නෙ මොනවද කියල උන්ට වැඩක් නෑ"

 ඔන්න ඔය වගේ කතාවක්ය. ඇත්තය පිකටින් එකට එනඋන් අතට දෙන කොලය බලාගෙන ගිරිය කඩන් කෑ ගසයි. එහි ඇත්තේ මොනවාදවත් නොදනී.

වැඩේ දැන් දැන් නැගලාම යයි. මොන මගුලක්ද මන්දාය. මේ කතාවක් නිසා ඇඩ් ටික හරියට බලාගන්නත් නැත. අතරින් පතර කතාවේ කෑලි දමයි. ආයෙත් කතාව. පිකටින් එක නැගලාම යයි.  ඒ අතරේ කෙනෙකු පොලෝසියටද කෝල් කරයි. පොලොසියෙන් එයි. කදුළු ගෑස් නැත. බැටන්පොලු නැත. කතාවෙන්ම පිරිස විසිරෙයි. ඒ අතරේ මන්තිරියාගේ ලේඛම් තැන ගුරාට මන්තිරිය බැහැදකින්නට එන්නයැයි පණිවිඩයක් ගෙනෙයි. 

ගුරා මන්තිරියාගේ නිවසෙහිය. ඉහින් කනින් දාඩිය දාගෙනය. ගොඩ දැමූ තිත්ත පැටියෙකුමෙන් ගැහෙන්නේ බයටනම් නොවේය. දාඩිය දා ඇත්තේද රස්නය නිසාය. එහෙත් දෙන බීම වීදුරුව බොන්නේද නැත. ඒකනම් අපාරාදේය. මේ අතර ඌරන් කැකුණ තලන තුරු හබන් කුකුලන් රැලක්ද බලා සිටී. මන්තිරියා එයි. ගුරාට කතා කරයි. ගුරාද වෙව්ල වෙව්ලා වැරුද්දට සමාව ඉල්ලයි. අපොයි...! සිද්දිය පෙරලෙන්නේ වෙන පැත්තකටය. මන්තිරියා සමාදානයෙන් කතා කරයි. ගුරා වැරුද්දක් කර නැත. කොල්ලාවද ගෙන්වා ගුරුවරයාට වන්දවයි. මන්තිරියාගේ ඇබේනිය මරුම කතාවක් කියයි. 

"අපි ළමයව කොළඹ ඉස්කෝලෙකට නොදා ගමේ ඉස්කෝලෙට දැම්මෙ ළමයට හොද ගුණදර්ම උගන්වන්න ඕන නිසයි"

අනේ වාසනාවන්. කොළඹ ඉස්කෝලවල එතකොට ඔය කියන ගුණදර්ම උගන්වන්නේ නැද්දැයි රූපපෙට්ටියට රින්ගා අසන්නට සිතුනේය. සිද්දිය අවසන්ය. මන්තිරියා හා ඇබේණියත් ගුරාට වදී. දැන්නම් දාඩිය දාන්නේ නැත. වෙව්ලන්නේද නැත. කැකුණ තැලුනේ නැති නිසා හබන් කුකුලන් පව්ය. ගුරා දැන් මන්තිරියාටත් උඩින්ය. උපදෙස් මාලාවක්ම දෙයි. අනේ අපොයි කියා සිතුනේ ඒවා බලාන්නේ රටේ තොටේ ඉන්න පොඩි පහේ මිනිසුන් පමණක් නිසාය. ඔය කියනා කතා අපේ ලොකු තැන්වල ඉන්නා අයද බලන්නේනම් නියමය. පරහට ඇත්තේ ද එයමය.

අවසන කියන්නට ඇත්තේ එක්දෙයකි. සත්තයි මෙය විවේචනයක් නම් නොවන්නේය.

Friday, June 28, 2013

හෑ... මාසයක් ගිහිල්ල බොලව්



ගිය මාසෙ මුල් කාලයේ ලැබුන විවේකයත් එක්ක සයිබරේ තිබුනු බෝහෝමයක් බ්ලොග් අස්සෙ කරක් ගහද්දි මටත් බ්ලොගක් ලියන්න හිතුන වෙලේ අවුරුදු ගානකට කලින් ලියන්න කියල හදපු බ්ලොගක් තිබුනේ ය. ඒ බ්ලොගය ලියන්නට ගත් තැනම ලොප් වී තිබුනේ ලොකු ශානාගේ බෝහෝ වැඩ මෙන්ම ය. ඒ කෙසේ වෙතත් දෙවන වරට ඒ බ්ලොගයම ලියන්නට ඇරබුවේ එයත් ලත් තැනම ලොප් වන වැඩක් කරන්නට නොවේ ය. උදව්වට පොඩි ශානාවද(ලොකු ශානාගේ මලයා) එකතු කරගත්තේ කෙසේ හෝ බ්ලොගය දිගටම ඇදගෙන යාමට තිබූ අවශ්‍යතාවය නිසාමය.

පොඩි ශානාද ලොකු ශානා මෙන්ම කොම්පීතර උණ කාරයෙකි. ඒ නිසාම බ්ලොග ලියමුයැයි කීවිගසම එක්වරම කැමති උනේ ය. එසේ ලියන්නට ගත් බ්ලොගය "සිතැගියාව" යි. අතීත මතක සටහන් සමගින් පෝස්ටු කිහිපයක් ලියමින් ලොකු ශානා බ්ලොගය ඇදගෙන යද්දී අනිත් පසින් පොඩි ශානා ද මතක සටහන් දිග හරින්නට විය. දෙදෙනාගේම හිතට දැනුන වල්පල් වලින්ද පෝස්ටු කිහිපයක් පෝෂණය උනේ ය. බ්ලොගය ලියන්නට ගෙන දින තුනක් තුල පෝස්ටු හතක් ලියවී තිබුනේ නොසිතූ ලෙසය. 

ලියාගෙන යන විලාසය වෙනස් කරමින් ජීවිත අන්දරයෙන් ලොකු ශානාගේ ආදර කතාව දිගහරින්නට ගත්තේ ඉන් පසුවයි. නොසිතූ ලෙසට බ්ලොගයේ වැඩි පිරිසක් අතර ජීවිත අන්දරය ජනප්‍රිය වන්නට වූවේ ය. අතරමග නතර කරන්නට සිතූ ජීවිත අන්දරය කොටස් හයකුත් ලියමින් තවමත් බ්ලොගයේ හොදම පෝස්ටු අතර තිබෙන්නේ ය. බ්ලොගය ලියන්න ගත් දිනම වාගේ අසේල මලයා ෆලෝ පාරකුත් දැම්මේ දිගටම බ්ලොගය කියවන බව කියමින්ම ය. ලොකු ශානාගේ හා පොඩි ශානාගේ මිතුරු මිතුරියන් එකා දෙන්නා බ්ලොගය කියවන්නට ගත්තේ ය.

බ්ලොගයට හිට් කවුන්ටරයක් දාමා ගත්තේ කවුට්ටරයේ අගය එකින් එක වැඩිවන විට හිතට දැනෙන ගට නිසාමය. පළමු පොස්ටු හයටම කමෙන්ටුවක්වත් නොමැති වෙද්දීනම් හිතේ තිබූ ගට ටිකක් අඩුවූ බවනම් නොකියාම බැරිය. දැන් දැන්නම් පෝස්ටුවකට කමෙන්ටු දෙක තුනක් වැටන්නේ හිතේ ගට තව තවත් වැඩිකරමිනි. බ්ලොගට මසක් සපිරෙද්දී බ්ලොගය වටා සිටින කිහිපදෙනෙකු මතක් කලේ නැතිනම් ලොකු ශානා අත්මාර්තකාමියෙකි. නිතරම බ්ලොග කියවමින් ලියන්නට තව තවත් උනන්දු කරවන ආදරණීය සිතැත්තියව ද  ලොකු ශානා බ්ලොග ලියනවායැයි කියූ විට බ්ලොග සොයාගෙන කියවා නිතර උපදෙස් දෙන තරුරසී ලියන තරු අක්කාව ද මතක් කරන්නේ ආදරයෙනි. තරු අක්කාව ලොකු ශානා දන්නේ අවුරුදු දොලහක, දහතුනක කාලයක සිටය. නමුත් බ්ලොග් ලියනා බව දන්නේ ඊයේ පෙරේදාය. සෑමා, රන්දිල්, අටං, රවී, දිනේශ්, චමී නමින් දන්නා බ්ලොගයට යන එන බ්ලොග් ලියන්නන් ය. බ්ලොගයට යන එන තවත් බ්ලොග් ලියන්නන් ඇත්නම් සමාව භාජනය කරන්නේ ය. 

සිතැගියාවට මසක් සපිරෙන මේ මොහොතේ සිතැගියාවත් සමග අත්වැල් බැදගෙන ඉන්නා සියලුදෙනාවම ආදරයෙන් මතක් කරන අතරම ලොකු ශානා ගේ හා පොඩි ශානාගේ හද පතුලෙන්ම නැගී එන ස්තූතිය පුදකර සිටින්නෙමු.

Monday, June 3, 2013

දුරකථන හාද


          ලොකු ශානගේ දුරකථනය හැඩවූනේ ය. කතාකලේ ලොකු ශානාගේ ආදරණීය සිතැත්තියයි. (ආදරයේ සතුට, දුක ලොකු ශානා හොදට විද ඇත්තේ ය. ඒ ආදර අන්දරය පසුව පෝස්ටුවකින් කොටන්නට ද සිතා සිටින්නේ ය.) දුරකථනය සන්වාදයෙන් පසු ලොකු ශානා කල්පනා ලොවක ය. සිතුවිලි වේගයෙන් අතීතයට දිව ගියේ ය. පෝස්ටුවක් කොටන්නට සිතුනේ ඒ අස්සේ ය. 

          "ආදරය" ලොකු ශානා වැඩියෙන් ප්‍රියකරන මාර්තුකාවකි. මේ මාර්තුකාව ඔස්සේ දේශන ගනනාවක් කර ඇත්තේ ය. මාර්තුකාව ඇසූ සැනින් කොල්ලන්ගේ, කෙල්ලන්ගේ මුව මත ඇදී යන්නේ අපූරැ සිනහවකි. එම සිනහව අර්ථ දක්වන්නට කිසිවෙකුටත් නොහැකි වනු නොඅනු මානය. සමහරෙකුගේ සිනහව ආදරණීයය, තවකෙකුගේ දුක්බරය. අද කතාකරන්නේ ආදරය ගැන නොවේ ය. ආදරයට ඉනිමන් බදින දුරකථනය ගැනය. 2011 වර්ශයේ ගණන් බලා ඇති ආකාරයට මිලියන 18ක් පමණ ජන්ගම දුරකථන භාවිතා කර ඇත. එය 2012 දෙසැම්බර් මස අවසාන වන විට මිලියන 20.3ක්  පමණ වන්නේ ය.

          ආදරය ගැන කතා කරන අද දිනය වන විට ඒ හා සබැදිවම දුරකථනය ගැන කතාකරන්නටම වන්නේ ය. ආදරය කරන්නන් අතර අද වන විට පොත් තුල හුවමාරැ වන ලිපි භාවිතයක් නැත. ලොකු ශාන සා/පෙළ කරන කාලයේ දුරකථන එතරම්ම ජනප්‍රියත්වයක් ඉසුලුවේ නැත. එදවස හුවමාරැ වූ ලිපිගැන මතකයන් ලොකු ශානාට ඇත.(ලොකු ශානා ලියූ ලිපිනම් නොවේ) එහෙත් අද තත්වය හාත් පසින්ම වෙනස් වන්නේ ය. අද ජංගම දුරකථනයක් අතනොමැති අවුරැදු 15 පසුකල කොල්ලක, කෙල්ලක සොයා ගැනීම අසීරැ වන්නේ ය. සමහර දෙමාපියන් තම දුවට, පුතාට ජංගම දුරකථනයක් රැගෙන දෙන්නේ ආරක්ෂාව සදහා ය. නිතරම ඔවුන් සිටින්නේ කොහේදැයි සොයා බැලීමට ය. එහෙත් බොහෝ දුරකථන වල වීඩියො ඇමතුම් ගැනීමට නොහැකි වන්නේ, එම පහසුකම් ඇතත් සමහර දෙමාපියන් ඒය පාවිච්චිකරන්නටය නොදන්නේ දරැවන්ගේ වාසනාවට ද දෙමාපියන්ගේ අභාග්යටදැයි ද කියා ලොකු ශානාට නොහැගෙන්නේ ය.

          දෙමාපියන්ට කෙසේ වෙතත් දරැවන්ටනම් අද දුරකථනය වාසනාව උදා කර ඇත්තේ ය. ඒ තම තමන්ගේ ආදරණීයයන් සමග සමීප හාදකම් පවත්වන්නට ය. ලොකු ශානා ජංගම දුරකථනයක් ගත්තේ උ/පෙළ අවසානයේ කරන ලද පළමු රැකියාවෙන් ය. එතෙක් ලොකු ශානාට දුරකථනයක අවශ්‍යතාවයක් නොතිබුනි. තතු කෙසේ වෙතත් ලොකු ශානාගේ ප්‍රථම ආදරයද දුරකථන ආදරයකි.(ලගදීම ඒ ගැන කියන්නම්) අදද ලොකු ශානාට අදරණීය සිතැත්තිය සමග දොඩමළු වන්නට ලගින්ම සිටින මිතුරා ජංගම දුරකථනයයි.(අපි දෙන්න කිලොමීටර් සිය ගානක් ඈතින් ඉන්නෙ) ලොකු ශානාට එය එසේ වද්දී ලගපාත සිටින අයද දොඩමළු වන්නට දුරකථනය යොදා ගනී.

          ලොකු ශානාගේ මතකය අතීතයට දුව යන්නේ ය. ලොකු ශානාගේ මිතුරෙකු ඔහුගේ ආදරවන්තිය සමග දුරකථනයෙන් කල කථාබහක් සිහියට නැගුනි. කතාකලේ මොනවැදැයි නොදන්නේ ය. නමුත් අවස්ථාව හොදින් සිහියේ ඇත. ස්ථානය ලංගම බස් නැවතුම් පලය, වේලාවනම් මතකයේ නොමැත. මිතුරා සහ ඔහුගේ ආදරවන්තිය සිටියේ බස් නැවතුම් පලේ දෙපසකය. දුර මීටර 20ක් නොමැත. මිතුරාගේ දුරකථනය හැඩවුනි. ඇමතුම මිතුරාගේ ආදරවන්තියගෙනි. දෙදෙනා දෙපස සිට මුහුනෙන් මුහුන බලාගෙන ආදරබර කතාවකය. ඇමතුම පැයකටද වඩා දිගු වූ බව මතකය. ලග සිටින්නවුන් මෙසේනම් දුර සිටින්නවුන් ගැන කවර කතාවක්ද?

          පෝස්ටුව කෙටුවේ ආදරයත්, දුරකථනයත් සම්බන්ද කිරීමට ය. කෙටුනේ වෙනත් දේවල්දෝයි සිතුනත් වෙනස් කරන්නට නොයන්නේ ය. පෝස්ටුව අවසන් කිරීමට ලොකු ශානා ප්‍රශ්නයක් අසන්නේ ය. ඒ ආදරය කරනා සිත් වලිනි. 

"දුරකථන සමාගම් එක්වරම සියලුම දුරකථන ජාල නවතා දැමුවහොත් කුමක් වනු ඇතිද?"

_________________________________________________________________________________
ප.ලි. - ලොකු ශානා පිළිතුර සිතන්නේවත් නැත. මන්ද එය ලොකු ශානාගේද ඉහමොල රත්කරනු ඇත.

Sunday, June 2, 2013

බ්ලොග් සාහිත්‍යය



          ලොකු ශානා පසුගිය දිනක පුහුණු වැඩ සටහනකට සහභාගී විය. ඒ සාහිත්‍ය පිළිබදවය හදිසියේම වාගේ මෙයට සහභාගී වීමට සිදුවූයේ ළ.ක්‍රි.වී යේ සාහිත්‍ය වැඩමුලු ආරම්භවන බැවිනි. එයට සහභාගීවූ ලොකු ශානාට අප කවුරැත් දන්නා සාහිත්‍යනම් විශයට අලුතෙන් එක්වූ දෙයක් ගැන මතකයට නැගුනි. ලොකු ශානා ඒ ගැන ඒ අවස්ථාවේද කතාකලේ ය. ඒ පිලිබදව පෝස්ටුවක් කොටන්නටද සිතුනේ ඒ අවස්තාවේදී ය. සාහිත්‍ය ලෝකයට අලුතෙන් එක්වන මෙය අනාගතයේදී සාහිත්‍ය ලෝකය දෙදරවන්නටද බැරිනැත. අනාගත සාහිත්‍ය වැඩමුලු වලදී කතා නොකරම බැරි මාර්තුකාවක්ද වනු නොඅනුමාන ය. සාහිත්‍යය ගැක කතාකිරීමට තරම් ලොකු ශානා සාහිත්‍යදරයෙකු නොවන බව නම් කිව යුතුම ය. මන්ද මේ පෝස්ටුව කියවන්නන් නැතිනම් ලොකු ශානාගේ කැරැට්ටුවට වගබාලා ගැනීමට ඉඩ ඇති හෙයිනි.

          ලොකු ශානා දැන ගත් පරිදි සාහිත්‍යයට සරල අර්තකථනය "අර්තයක්, රසයක් හා අපූර්වත්වයක් සහිත" යන්නයි. නිදහස් විශ්වකෝෂය(විකිපීඩියා) පවසන පරිදි සාහිත්‍යය නම් මෙසේය.

          "සාහිත්‍යය යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන් මත හා එහි අන්තර්ගතය මත රදා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රෑ සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක. පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම ලිඛීත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. (උදාහරණ ලෙස ඊජිප්තු) එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය ස්වාභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ (ක්‍රි.ව. 702-756) අර්ථ දැක්වීම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අදිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමෙකු පවසන හෝ ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි සාහිත්‍යය යනු යම් මග පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි. එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිලිබද අර්ථ දැක්වීමකි එහෙත් සාහිත්‍යටය අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරැවම මෙම සීමා පසු කරයි.

          රැසියානු රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරැ විදහා දක්වයි.

          විදහා දක්වන ලද කතන්තර, ගුහා වල ඇදි සිතුවම් හා සිහිවටන ආදිය සාහිත්‍යයේ සීමාවන් පුළුලු කර ඇත"

          ලොකු ශානා අද කතාකරන්නේ අද බිහිවෙමින් පවතින අලුත් සාහිත්‍යක් ගැනය. ඒ බ්ලොග් සාහිත්‍යය ගැනය. හැගෙන පරිදි බ්ලොග් යනු සාහිත්‍යයේ වෙනස්ම පැතිකඩකි. සාහිත්‍යයට අලුතෙන් එක්වන දෙයකි. අලුත් කලාවකි. වෙනසකි. අනේ මන්ද මේක මොනවගේද කියන්නට ලොකු ශානාට තවමත් බැරිය. හැබැයි මෙතෙක් දුටු සාහිත්‍යයට වඩා වෙනසක් දකින්නේ ය. ලොකු ශානා මුලින්ම සදහන් කල පරිදි මෙහි අර්ථයක් ඇත, රසයක් ඇත, අපූර්වත්වයක් ද ඇත. එසේනම් බ්ලොග් යනු අලුත් සාහිත්‍යයක් නොවන්නේ ද?

          අනෙක් භාෂාගැන කතාකරන්නට ලොකු ශානා නොයන්නේ ය. කතාකරන්නේ හොදින් දන්නා සිංහල භාෂාව ගැනය. මන්ද සාහිත්‍යය රටින් රටට භාෂාවෙන් භාෂාවට වෙනස් වන බව ලොකු ශානා දන්නා බැවිනි. සිංහල සාහිත්‍යයට බ්ලොග් කරනය ඇතුලුවිය යුතු බවනම් ලොකු ශානාගේ අදහසයි. සිංහල බ්ලොග් ලෝකයේ කෙටිකතා ලියන්නන්, නවකතා ලියන්නන්, ගද්‍ය හා පද්‍ය රචනාකරන්නන් මෙන්ම සාහිත්‍යය අංශයේ සෑම පැතිකඩක්ම ඔස්සේ තම තමන්ගේ බ්ලොග් ලියන්නන් සිටී. එසේනම් බ්ලොග් කරනය සාහිත්‍යයට එක් නොවිය යුතුද?

          කලින්ද සදහන් කල පරිදි මෙහි අර්ථයක් ඇත, රසයක් ඇත, අපූර්වත්වයක් ද ඇත. එසේනම් බ්ලොග් යනු අලුත් සාහිත්‍යයක් නොවන්නේ ද? සංවාදයට විවෘතය. මේ මගේ අදහස පමණි.