Showing posts with label පොඩි ශානාගේ සිතිවිලි. Show all posts
Showing posts with label පොඩි ශානාගේ සිතිවිලි. Show all posts

Thursday, March 13, 2014

ගොඩ කාලෙකින්.....



ගොඩ කාලෙකින් සිතැගියාව පැත්තට ඔලුව හරවන්න හම්බුනේ ඉස්කෝලෙ යන්නෙ නැතුව ගෙදර හිටපු එකම එකම දවසක. අනේ ලස්සනට ලියාගෙන ආපු බ්ලොග් එක පාලුවට ගිහින්. ලොකු ශානාත් මේ දවස්වල හරි බිසී. ජොබ් එක හින්ද නිවාඩු වෙලාවක් නෑ. මමත් මේ අවුරුද්දෙ ලොකු ලෙවල් ලියන්ඩ ඕන හින්ද මේ පැත්තෙ එන්න වෙලාවක් එන්නෙම නෑ. පහන් තාරක 4වෙනි කොටස ලොකු ශානා ලියන්න අරගෙන මගින් නවත්තල තියෙනව මම දැක්ක. කොහොම නමුත් මම ලොකු ලෙවල් ලියල ඉවර උන ගමන් ආයෙ මේ පැත්තට එන්ටර් වෙනව. පොස්ට් ගොඩක් ලියන්න පුලවන් දේවල් තිබුනත් ලියන්න වෙලාව නෑ. බ්ලොග් එකට එන යන අයගෙන් ඒ පිලිබදව සමාව අයදිනව.
සයිබරයේ කට්ටිය එකතු වෙන තවත් දවසක් එනවලු. අවුරුදු උත්සවයක් තියනව කියල මගේ මේල්ලුවට මේල් එකක් ඇවිත් තිබ්බ. ඉතින් එදාට එන්ඩ ලොකු උත්සහයක් ගන්ඩ ඕන. කොහොමහරි කරල එන්ඩ තමා බලන්නෙ. ඉතින් සිතිගැයාවත් එක්ක අත්වැල් බැදගත්තු ඔයාලගෙන් මම ආයෙත් වතාවක් සමාව ඉල්ලනව. ආයෙත් පාරක් පෝස්ට් එකක් ලියල කොමෙන්ට් වැටෙන හැටි බලල සතුටු වෙන්න අපි ආයෙත් එනව. මේ කාර්යබහුල ජීවිතෙන් චුට්ටක් විතර නිදහස් වෙනකන්. එතක්න් ඔය හැමෝටම ජය වේවා.

--මම පොඩි ශාන්--

Sunday, June 9, 2013

හුදකලා විරාමයක් තුල සිත පුරා දිවූ සිතිවිලි.



අතීතයේ ඔබෙ ආදර සැමරුම්
හදේ රැදී ඇත මියෙන තුරා
එදා පැතූ ඒ ආදර පැතුමන්
සුනු විසුනුව ඇත මහද පුරා.
______________________________________________________

ආදර ලෝකෙක ඔබ ගෙන යන්නට පිරූ පෙරුම් මම සසර පුරා
පරවී විසිරුනු මල් පොකුරක් සේ සුන්ව ගියේ ඇයි මා හැරදා
ඔබගේ තුරුලේ සැනහී උන් දා ආදර මල් වරුසා වැස්සා
ගිනිගෙන දැවෙනා මල් පෙති වරුසා අද මගෙ ලෝක‍යෙ විසිරෙනවා
______________________________________________________

ආදරයට ආදරය කරන්න
පෙරුම් පුරමි මම හැමදාම
නමුදු තවමත් සමු නොවුනි
හදවතට දැනෙන සැබෑ ආදරයක්
______________________________________________________

නියගයෙන් දැවී ඉරි තැලී ගොස් ඇති මහ පොළවට
වැරෙන් පහර දෙන චන්ඩ හිරු රැස් අතරින් පෙනෙන
හද සනසාලන වැහි ලිහිණියෙකු මෙන්
හදවත නැමැති පොළවට වැටෙන
තනිකම නැමැති සැඩ රෂ්මිය අතරින්
ආදරය නැමැති ලිහිණියකගේ සේයාවක් පෙනෙයි.
______________________________________________________

හැමදා දකින එක් ආදර සිහිනයක
දෙවගන උනේ මට ඔබගේ රුවයි
ආලය කලා ඔබ හදවතින් මා හට
නමුදු එය සිහිනයකි සදාකල් මා දකින
______________________________________________________

ආදරණීය ඔබගේ හදේ
නැතිද ඉඩක් මගෙ ආදරයට
දෙන්න අවසර රැදී සිටින්නට
ඔබේ සොදුරු හද කුටිය තුල
______________________________________________________

දුකින් තැවෙන හදවතක්
සිනහවෙන් පුරවන්නට
ආදරණිය හදකට හැකිනම්
ඇයිද මා තවමත් දුකින්
______________________________________________________

සටහන:- මේ සිතිවිලි එකිනෙක අතර කිසිම සබදතාවක් නොමැති අතර හුදකලාවේ තනිවී සිටින විට පොඩි ශානාගේ සිතෙහි ඇදුනු දුක්බර, ආදරබර, ශොචනීය සිතිවිලි ගොන්නක් මෙසේ අකුරු කර ඇත.

Tuesday, June 4, 2013

සිනහව


අප සැවොම සිනාසී සිටීමට කැමතිය. මොහොතක් සිතන්න දවසකට අප කී පාරක් සිනා සෙනවාද? ඇත්තෙන්ම මතකයට නගා ගත නොහැකි තරමක් ඔබ සිනා සෙනවා ඇති. නමුත් දවසකට මා මේතරම් ප්‍රමානයක් සිනා සුනායැයි කිව හැකි තරම් ස්වල්ප ප්‍රමානයක් සිනා සෙන මිනිසුන් ලොවේ නැත්තාම නොවේ. නොමිලේ දිය හැකි එකම වස්තුව සිනහව පමනයි කියා බස් රථ වල ත්‍රීවීල් රථ වල ගසා තිබූ බව මට මතකය. ඇත්තය අපගේ සිනහවට තවත් සිතක් සතුටු කිරීමට හැකියාවක් ඇත. ඔබේ මව ඔබේ පියා ඔබේ එක් සිනා මාත්‍රයකින් කොතරම් නම් සතුටු වෙනවාද? ඔබේ ආදර වන්තයා, ආදර වන්තිය ඔබේ සිනහවකින් කෙතරම් සතුටු වෙනවාද? සිනහවට හදවතකට කතා කල හැකිය. සිනහව නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයෙකුට හිතවතුන් විශාල ප්‍රමාණයක් ඇති කරගත හැක (පොඩි ශානටත් ලොකු ශානටත් දෙදෙනාටම හිතවතුන් බර ලොට් එකක් ඉන්නේ ඒ නිසායයි සිතේ)

මිනිසුන්ට සිනහ නොවී මිනිසුන් සමග සිනහ වෙන්නැයි මා කියවූ පොතක තිබූ බව මට මතකය. කතාව ඇත්තය, අප වැඩි දෙනෙක් කාව හෝ සමච්චලයට ලක් කොට සිනහ වෙන්නට හපනුන්ය. කවුරුන් හෝ පාරක හැපී වැටුනහොත් ඔහුට සිදුවු විපත්තිය ගැන නොසිතා අප ඔහුට සිනහ වන්නේය. එවන් අවස්ථාවක ඔබ  ගොස් ඔහුට නැගී සිටීමට අත දුන්නාද? එසේනම් ඔබ හොද පුද්ගලයෙකු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ඔබ උදෑසන රැකියාවට, පාසලට යන විට කී දෙනෙකු සමග සිනහ වෙනවාද? ඔබට වරක් හෝ අවවාද කොට ඇති කෙනෙකු සමග සිනහ වීමට ඔබ දෙවරක් සිතනු ඇත. එවිට ඔහුගේ සිතිවිලි මොනවාදැයි ඔබට සිතුනාද? ඔබ තරහ සිතේ තබාගෙන සිටිනා කෙනෙකු ලෙස ඔහු සිතනු නොඅනුමානය. පොඩි ශානා හැකි සෑම අවස්ථාවකම සිනාසෙන්නේය. හැකි සෑම කෙනෙකු සමගම සිනාසෙන්නේය. පොඩි ශානටද පෙන්නන්ට බැරි ගුරුවරු කිහිප දෙනෙක් පාසලේ ඇත. නමුත් ඔවුන් සමගත් සිනාසී යාම පොඩි ශානගේ ගතියකි. 

ඔබගේ මිතුරෙක් හෝ මිතුරියක් කදුළු පුරවාගෙන හඩනවාට ඔබ කැමතිද? නැත ඔබ කැමති වීමට කොහෙත්ම ඉඩ නැත. නමුත් ඔහු හෝ ඇය දුක් වන අවස්ථාවක ඔබ ඔවුන්ගේ සිත සැනසුවාද මුවටගට සිනහවක් නැන්වුවාද? එවන් අවස්ථාවක ඔවුනට සිනහ වෙන්නට උදව් කරන්න. ඔබට ඔවුන් සනසා සිතට සතුටක් ලබා ගත හැක බව විශ්වාසය. ඔවන් ඔබ නිසා සිනාසෙන්නේනම් ඔබට එය සතුටක් ගෙන දෙනු ඇත. හැම විටම ඔබ සිනාමුසුව ඉන්න. ඔබ අවට සිටින්නන් සමග සුහදව සිනාසෙන්න. ඔබ නිතර සිනහවෙන් සිටින්නෙකු නම් ඔබ අසතුටෙන් සිටිනවාට ඔබගේ මිතුරන් අකමැති වනු ඇත. 

වෙළද සැලක් කරන්නෙකු ලග සිනහවක් තිබීම අනිවාර්ය වේ. මිනිසුන් සමග සිනා නොවෙන කෙනෙකුගේ වෙළද සැලකට ගොඩවන්නට සිතෙන්නේ නැත. නමුත් හොදින් සිනා සී සිටින පුද්ගලයෙකුගේ ස්ථානයක් ගත් කල පෙරට වඩා හාත් පසින්ම වෙනස්ය. සිනහව බලගතුය. ඔබගේ එක් අවංක සිනහවකින් පුද්ගලයෙකුගේ හැගීම් පවා වෙනස් කල හැක. එය පොඩි ශානා හොදින් අත් දැක ඇත. විශේෂයෙන් ගැහැනු පාර්ශවයේ සිත් අද්දවා ගැනීමට සිනහව ඕනෑ වේ. සිනා නොවී මුස්පේන්තු ගතියකින් සිටින්නෙකු දෙස ගැහැනු දරුවෙක් වරකට වඩා හැරී බැලුවොත් ඇගේ ඇස් වල දෝෂයක් තිබිය හැක. නැතිනම් මූ මොකෙද්දැයි දැන ගැනීම සදහා දෙවන වර හැරී බලනු ඇත. නමුත් ඔබට නිතර බැන වදින කෙනෙකුට උවත් අහින්සක අවංක සිනහවකින් සංග්‍රහ කරන්න. ඔහු හෝ ඇය නැවත ඔබට යමක් කියන්නට දෙවරක් සිතනු ඇත. නමුත් හොදින් සිතට ගන්න. ඔබ ඔ‍බේ හද පත්ලෙන්ම සිනා සිය යුතුය. වංක සිනහවක් හා අවංක සිනහවක් එක ලග තබා බැලූ විට වෙනස්කම් රාශියක් දැක ගත හැක. එසෙනම් ඒ සිනාවන් දෙක වෙන වෙනම හදුනා ගත හැකිය. 

ඔබ සිනාසිය යුත්තේ දත් විලිස්සා, කට පජාත වන තෙක් විශාල කොට නොවේ. ඔබ සිනාසිය යුත්තේ ඔබේ හදවතින්ය. හදවතේ සිට එන සිනහවක් හදුනාගත හැක. එසේනම් අවංකව සිනා සීමට උත්සාහ කරන්න. වෙන කෙනෙකුගේ සිනාවන් කොපි කිරීමට ගොස් අමාරුවේ වැටෙන්නට එපා. ඔබටම ආවේනික ඔබේම හදවතින් සිනාසෙන්න.

අපි කොන්ඩය බෙකම් හදාගෙන පාරේ යන විට දකින අය කියන්නෙ. බෙකම් වගේ කොන්ඩේ හදාගෙන යනවා කියාය. නමුත් තමන්ට ආවේනික ලෙස කොන්ඩය සකසාගත් විට එසේ නොවේ. මා කියන්නෙ හෙයා කට් එක වෙනස් කර ගන්නට කියා නොවේ. ඔබ වෙනකෙකු ලෙස සිනාසෙද්දී එය ඔබේ සිනාව නොවේ එයා වෙනකෙකුගේ සිනාවකි. එබැවින් ඔබ, ඔබ ලෙසම සිනාසෙන්න.

හැම විටම සිනාසෙන්න සතුටින් සිටින විට ප්‍රශ්න අඩුය. හදවතද ශක්තිමත් වේ. සිනහව ආයුශ වැඩි කරන බවද මම පොතක කියවා ඇත්තෙමි. එය ඇත්තද බොරුද කියන්නට මම නොදනිමි. නමුත් සිනහව හැමෝම ලග ඇති වටිනා වස්තුවක් බවනම් කිව යුතුය.

හැම විටම අවංකව සිනාසෙන්නට පුරුදු වෙමු

Thursday, May 30, 2013

චූන් පාන්


චූන් පාන් යනු මේ කාලේ බේකරි කාරයන්ගේ ප්‍රසිද්ද වැඩ කටයුත්තකි. සෑම නගරයකම පාහේ හවස හතර පහ පමන වන විට බේකරි කාරයන්ගේ රෝද තුනේ චූන් පාන් වාහන සෑම අතුරු මාර්ගයක් ඔස්සේම යන්නේ කඩ කාරයන්ගේ ඇනුම් බැනුම් නොතකාය. සවස් වෙද්දී ඉලියට බසින චූන් පාන් නිසා පාන් විකුණන අහින්සක කඩකාරයන්ගේ බඩට පහර වදින බව නොරහසකි. කඩයේ විකුණන මිලටත් වඩා අඩු මිලට ගෙදරට පැමින විකුනද්දී තකහනියේ කඩයට ගොස් පාන් ගන්නේ එහෙමත් එකෙකි. කෙසේ නමුත් අප අසල්වැසි නගරයක නොමිලයේ චූන් පාන් බෙදූ කතාවක් පසුගිය කාලයේ කන වැකුනි. ඒ පසුගිය අවුරුද්දේ ගන් වතුර දැමූ කාලය තුලය. ගන් වතුරින් අසරන වූ ජනතාවට වතුර බැස ගිය විට නොමිලයේ පාන් බෙදීමට තරම් එම බේකරියේ අයිතිකරු කාරුණික වී ඇත. 

චුන් පාන් සබ්දයක් ඇසුනු විට ගමේ පොඩි කොලු කුරුට්ටන් ගෙදර ඇත්තන්ට වද දෙමින් පාරට දුවන්නේ චූන් පාන් නවතා ගැනීමටය. සමහරුන් කල්තියාම පාරට වී සිටින්නේ පාන් ගැනීම සදහාය. යන එන අයගේ විමසීමට මම චූන් පාන් එනකන් ඉන්නවා යැයි කියමින් පාරට වි සිටියි. පොඩි උන්ගේ ලෝකයේ එක් පසෙක සිටින වීරයෙක් ලෙසය මා චූන් පාන් අයියාව දකින්නෙ. සමහර පොඩි උන්ගේ ක්‍රිඩාවක් වී ඇත්තේද චූන් පාන් විකනීමයි.

චූන් පාන් ගැන කතා කොරන්නට මට සිතුනේ අද සවස අපේ ගමේ චූන් පාන් අයියාගෙන් පාන් ගත් පසුවය. ඇත්ත වශයෙන්ම ඔහු දියුනු වෙන මිනිසෙකුට ආදර්ශයට ගත හැකි චරිතයකි. චූන් පාන් අයියා මුලින්ම පාන් විකිනීම ආරම්භ කලේ යතුරුපැදියක පිටුපස වීදුරු වලින් සෑදු පාන් පෙට්ටියක් බැදගෙනය. ඔහුට කලින් පාන් විකිනූ අයගේ බාදා මැද ඔහු තම ගමන ඉදිරයට ගියේය. දිනක් ඔහුගේ පාන් පෙට්ටිය බැද තිබූ ලනු ලෙහී. සම්පූර්ණ පාන් පෙට්ටියම බිම වැටී කුඩු වී ගියේය. ඒ බව මා දැනගත්තේ ඔහුගේ පාපැදිය අලුත්වැඩියා කරමින් තිබූ අවස්ථාවේ ඒ පිලිබදව විමසීමෙන්ය.

මම:- අයියා මොකද උනේ බයික් එකට 
චූන් පාන් අයියා:- පාන් පෙට්ටිය වැටිල කැඩුනානේ මල්ලි ඒක හදන්න දැම්මෙ බයික් එකට නම් අවුලක් නෑ
මම:- පානුත් එක්කමද?
චූන් පාන් අයියා:- ඔව් මල්ලි පාන් දෙක තුනකට වඩා වික්කෙ නෑ එහෙම්පිටින්ම වැටුනා

දැඩි සංවේගයක් මගේ සිතෙහි හට ගත්තේ සිදුවීම ඇසූ විටය. මම කල්පනාවට වැටුනු හැටියෙන්ම මූඩ් අවුට් ගිය බව දැනගත් ඔහු.

ඔව්ව ඔහොම තමා මල්ලි අපි යන හැම පාරක්ම හොද පාරවල් නෙමේනෙ

ඔහුගේ මේ කියමන හුදෙක් ඔහු පාන් රැගෙන යන පාර ගැන කීවාට වඩා ජීවත මන් තලාවේ ඇති බධා ගැන කියූවක් ලෙස මට සිතුනි. ඉන් මාස කිහිපයකට පසු ඔහුගේ බේකරියේ නම සහිතව චූන් පාන් ත්‍රීවිලරයකු හන්දියේ හදමින් සිටිනු දුට මට ඔහු පිලිබද ‍ගෞරවයක් හට ගත්තේ නිතැතින්ය. තමන් යන ගමන පියවරෙන් පියවර ඉදිරියට යාමට නොසැලෙන ශක්තියක් ඔහු තුල ඇති බව මා හට පසක් විය. සෑම කෙනෙකු සමගම සිනාමුසු මුහුනින් සිටන ඔහු තුල මානුෂීය ගති එමට විය. අප නිවස අසල තිබූ මල ගෙයක හත් දවස අවසන් වන තෙක්ම ඔහු ඒ අසලින් යන විට ඔහුගේ චූන් පාන් සබ්දය නවතාගෙන ගිය බව මට මතකය. නමුත් චූන් පාන් යැයි කිව හැකි ටාටා වර්ගයේ බට්ටෙක්ද අප පාරේ ගමන් කරයි. ඔහු කිසිම හැගීමකින් තොරව ශබ්දයත් සමග එතනින් ගිය බව මගේ මතකයේ ඇදී ඇත.

අප අවට අපත් සමග සැරි සරන චරිත තුල යම් විශේෂිත බවක් අපට දැනෙන්නේ ඔවුන් තුල ඇති මානුෂීය ගුනාංග නිසා බව මට සිතේ. එවැනි චරිතයක් ගැන මෙවැනි සටහනක් හෝ තැබීමට හැකි වීම ගැන මා තුල සතුටක් හට ගන්නේ ඉනිසායැයි මට සිතේ.