Friday, May 31, 2013

නිදියන්න හොදම වෙලාව


          ලොකු ශානාගේ ඉස්කෝලේ හොදම සෙට් එක හිටියෙ සා/පෙළ කරන කාලේ. 6 වසරේ පන්තිවලට දැම්මට පස්සේ අයේ වෙනසක් කරන්නෙ නෑ ඒ හින්ද 11 වසර වෙනකම්ම ඉන්නෙ එකම සෙට් එක. කට්ටිය මාර ෆිට්. ඒ සෙට් එක අදටත් හොදම මිතුරන් මොකද අවුරැදු 7ක්ම එකට හිටිය හින්ද. නටපු පිස්සු, ගත්ත ආතල් කියල නිම කරන්න බෑ. ඉයේ රෑ මුණුපොතින් හම්බවුන අපේ බුට්ටි ලොකු ශානාගේ බ්ලොග කියවලා ලියන්න හොද කථාවකුත් මතක් කෙරැවා. කථාව කියන්න කලින් හිටපු සෙට් එක මතක් කලානම් හොදයි කියල හිතුන. කථා දෙක තුනකම හිටිය දිනා හිටියෙත් ලොකු ශානත් එක්ක එකම පන්තියෙ. එතකොට වන්නිය, මුට්ටිය, මධුරංග, දුශ්මන්ත(දැන් කතෝලික පියතුමෙක්), විශ්ව(අපෙන් සදහටම සමුගත් දයාබර මිතුරෙක්), රංදික, හොටා, ප්‍රවීන්, අමරේ, පූසා(අරැණ), චේතිය, කුෂා, හදයා(මංජුල), සුරංග, හර්ෂ, ශෂික, යොහාන්(මුටත් මොකක්ද නමක් කියුව මතක නෑ හරියම), දේවින්ද, ශශී, ගයාන්, ගයන්ත කොල්ලොනම් එච්චරයි වගේ මග ඇරිච්ච එකෙක් හිටියොත් සොරි වෙනන ඹ්න. මේ කෙල්ලො ගැන්සිය. මට මේ කථාව මතක් කරපු අපේ බුට්ටි(මේකි තමා මතක හැටියට පන්තියේ පොඩිම), හර්ෂි, පච්චෙ, රංදි, නිසංසලා, වින්ද්‍යා, සකූ, චතූ, සමාදි, කල්හාරි, ජයමිණී, හසිතා, භාග්‍යා, මහේෂි, දුලංජලී අනිත් සෙට් එකේ නම් මතක නෑ තරහ වෙන්න එපා කෙල්ලනේ(නම් ටික දැම්මේ අපේ සෙට් එකට මතක් වෙන්නටය. කියවන්න කම්මැලිනම් ඒ ටික නොකියෙව්වාට ලොකු ශානා තරහා නැත

          දැන් කථාවට එමු. අවුරැද්දට සැරයක් කොහෙහරි විනොද අධ්‍යාපන චාරිකාවක් යනවනෙ මේ කියන්න යන්නෙ 10 වසරේ ගියපු ට්‍රිප් එක ගැන. අපේ ප්‍රධාන සංවිධායක තුමා මධුරංග. චාරිකාව යන්නෙ කිරි නිශ්පාදන කම්හලක්(කොකද මතක නෑ) බලන්න, ග්‍රහලෝකාගාරෙ බලන්න, සූගාල සූ එක බලන්න සහ දවල්ට කන්න පාර්ක් එකට. මගේ මතකේ හරිනම් ඕකයි ගමන්මග. කොහොමින් කොහොම හරි කට්ටිය සෙට්වෙලා ගමන යන්න පිටත් උනා. අපිත් එක්ක අපිට උගන්වපු ගුරැවරැ කිහිපදෙනෙක්මත් ගමනට සහභාගී උනා. විශේෂයෙන්ම කියන්න ඕනා අපේ ඉන්ද්‍රාණි මිසුත් ආව(ඔව් ඔව් ජේවීපී මිස් තමයි) මොකද මේ කතාවෙ හොදම හරියෙ ප්‍රදාන චරිතෙ රගපාන්නෙ මිස්. ඔන්න දැන් ගමන පිටත් වෙලා අර කිරි කම්හල ලගටත් ආව. අපේ සංවිධායක තුමයි තව සර් කෙනෙකුයි බැහැල ගියා ඇතුලට යන්න අවසර ගන්න. ටිකකින් දෙන්නම ආපහු ආව අපේ සංවිධායක තුමාගෙ මූන දෙක වෙලා. මොකක්ද දන්නවද හේතුව ඒක බලන්න යන්න කලින් අවසර ගන්න ඕනලු අපේ සංවිධායක තුමා ඒක දැනගෙන ඉදලා නෑ. දැන් ඉතින් මොනව කරන්නද අපිත් ඉතින් හැරිලා ආව. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව කැළණි පංසලටද කොහෙදත් ගියා මතකයි. 

          ග්‍රහලෝකා ගාරෙදිත් උනේ ඔය වගේම සිද්දියක්. එතනටත් කලින් දැනුම් දීල තියන්න ඕනලු. ඇතුලට යන්න පුලුවන් හැබැයි හිටගෙන තමා බලන්න වෙන්නෙ. මොන මගුලක්ද මේක හරියන්නෙ නෑ කියපු අපේ සෙට් එක ග්‍රහලෝක ගාරේ වටෙන් බලාගෙන ආව. දවල්ට කන්න පාර්ක් එකට ගියපු වෙලාවෙ ගහක හිටපු කුරැල්ලෙක් නිසා ලොකු ශානටත් ලොකු අකරතැබ්බියකට මුහුණ දෙන්න උනා(දන්නෝ දනිති). දවල් කෑමෙන් පස්සෙ හොදට වේලාව අරන් අපේ සෙට් එක කූඩු කරල හිටපු සත්තුටිකනම් බලාගත්ත. වෙලාව නැතුවයේ අප්පා වෙන කොහොවත් ගියේ නැහැනෙ. එන ගමන් ගොල්පේස් ගිහින් කුරැලු තොරන් ටිකකුත් බලාගෙනම අපි අපහු එන්න පිටත් උනා. එන ගමන් අපේ සෙට් එක කතාඋනේ පහුවදා ඉස්කෝලෙ නොයා ඉන්න හොරාට නෙමේ ගුරැවරැන්ගෙ අවසරේපිට. අපි හොර වැඩ කරන්නෙ නැහැනෙ හොද ළමයිනෙ. හැබැයි ඉතින් මේකට අපේ සිංහල මිස් තදින්ම විරැද්ද උන හින්ද වැඩේ අප්සට් උනා. කොහොමහරි කාටවත් කරදරයක් නැතිව ජාමෙ 12ට කලින් අපි ගෙවල්වලට ගියා.

          ඔන්න ඉතින් පහුවදා කට්ටියම කුකුල කරේ තියන් ඉස්කෝලෙට ආව. දැන් කට්ටියගෙ ප්ලෑන් එක අපිට ගෙදර ඉන්න දුන්නෙ නැති තරහට සිංහල මිස්ට ගේමක් දෙන්න. ඒත් ඉතින් කාටවත් අදහසක් අවෙ නෑ මොකද කරන්නෙ කියල. ටික ටික කාලවේලාවත් ගතවේගන යනව. සිංහල පීරියඩ් එකට කලින් තිබුනෙ මොකක් හරි අතිරේක විශයක්. පන්තියෙන් භාගයක්ම එලියට ගිහින් එහෙම වෙන දවස්වලට කට්ටිය පන්තියට එනකොට අනිත් පීරියඩ් එකේ මිස් හරි සර් හරි පන්තියට ඇවිත් ඉන්නේ. මේ කියන දවසෙත් එලියට ගියපු සෙට් එක එන්න කලින් සිංහල මිස් පන්තියට එන්ටර් උනා.

"ඒයි.. මිස් එනවා. අපි නිදිමතේ නිදි වගේ ඉමු" 

          අපේ එකෙක්ට කොහොන්දෝ මන්ද මරැ අයිඩියා එකක් ආව. දැන් කට්ටියම නිදි. මිස් පන්තියට ආවහම එකෙක්වත් නෙමේ පුටුවෙන් නැගිට්ටෙ. ඒ අතරෙ එකෙක් හීමීට නැගිටල කට්ටියවම ඇහැරවනව.

"නැගිටපල්ල... නැගිටපල්ල මිස් ඇවිල්ල"

          ඒ පාර කට්ටිය නැගිටල මිස්ට අයුබෝවන් කියල එහෙම ඉද ගත්තා. මිස්ගෙ නෑ කිසිම හාවක් හුවක් රවාගෙන පන්තිය දිහා බලන් ඉන්නව. මං ඔය දැක්කමයි මිස්ට තරහ ගිහින් තියෙනවා. ටික වෙලාවක් බලන් හිටපු මිස් පොත් ටිකත් අරන් යන්න ගියා. අපේ උන්ට දැන් ෆුල් හැපි ඇයි වැඩේ හරි ගියානෙ. ඔන්න එතකොට අපේ අනිත් සෙට් එකත් පන්තියට ආව. උන්ට විස්තරේ කියන්න හම්බඋනේ නැහැ මෙන්න මිස් ආපහු පන්තියට එනව. තනියම නෙමේ රණයවත් අඩගහගෙන. රණයගේ අතේ දිග වේවැලක් හරි තමා වැඩේ තැන් ඉතින් කුම්බලාමාලු කෑවහම අර බලලට වෙන වැඩේට හපන් වැඩක් වෙන්න යන්නෙ. අපු ගමන් කෙරවලක ඉදන් කට්ටියට හොදට ලුණු ඇබුල් ඇතුව දීගෙන එනව. අනේ අර පන්තියෙ හිටපු නැතිඋන් උඩබිම බලනවා මොකද මේ වෙන්නෙ කියල. උන් පන්තියෙ හිටියෙ නෑ කියන්නවත් ගියෙ නෑ. ඒක තමා අපේ උන්ගෙ හොදම ගතිගුනේ මොන දේ කරත් එකට තමා කෙල්ලො ටිකත් එහෙම්මමයි හවුලෙ අපිත් එක්ක ගුටිකන්න හරි ඉන්නවා. ඒකනෙ තාමත් මේ ෆිට් එක.

          කොහොම හරි පන්තියටම සලකලා ඉවර වෙලා රණයයි මිසුයි දෙන්නම යන්න ගියා. ඊට පස්සෙතමා අර පන්තියෙ හිටිය නැති සෙට්එක සීන්කොන් එක දැන ගත්තේ හැබැයි ඉතින් ඒ වෙලාවෙනම් කාටවත් හිනා වෙන්නවත් මතක නෑ. මොකද කට්ටිය මේවගේ දෙයක් මිස්ගෙන් බලාපොරොත්තු උනේ නැති හින්ද. දැන්නම් මතක් වෙනකොට හොදටම හිනා. සිද්දියෙන් පස්සෙ කට්ටියම ගිහින් මිස්ගෙන් සමාව ගන්න අමතක කලෙත් නෑ හැබැයි.
______________________________________________________
ප.ලි - පොස්ටුව කොටන්න සිද්දිය මතක් කරපු අපේ බුට්ටිට ගොඩක් තැන්කූ. අපේ සෙට්එක මේක කියෝල පහලින් කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. අපේ සෙට් එක ට්‍රිප් එක වෙලේ ගහපු පොටෝ එකක් බුකියෙ කොහේ හරි තිබුන ඒත් හම්බ උනේ නැහැ හම්බඋන ගමන් පොස්ටුවට දාන්නම්.

Thursday, May 30, 2013

ආදරණීය ළ.ක්‍රි.වී යට තුතිමල්



          අලුත් ලේබලයකින් පෝස්ටුවක් කොටන්නට සිතුනේය. ලොකු ශානා හොදට කළගුණ සලකන්නට දන්නේය. මේ පෝස්ටුව ඒ සදහාය. පුද්ගලයෙකුටනම් නොවේය. නමුත් තුතිය ඒදවස සිට එහි සිටි සෑම දෙනාටමය. ළ.ක්‍රි.වී යනු ළමා සමාජයකි. ලොකු ශානා කොඩි විකුණුවේ ද ඒ ළමා සමාජයේ සිටියදී ය. අද ලොකු ශානා කරන බොහෝ දෑ වල මුල් පන්නරය ලැබුවේ එයින් ය. ලොකු ශාන අද ගුරැවරයෙකි, විටෙක දේශන වලටද යන්නේය. ඒ සියල්ලට මුල් අඩිය තැබුවේ ළ.ක්‍රි.වී යෙන්ය. අද දහක් දෙදහක් ඉදිරියේ කථා කරන්නට බය නැති වූයේ ද ළ.ක්‍රි.වීය නිසාය. කලින් පොස්ටුවේ කීවා මෙන් නාට්‍ය කරන්නට ඉගෙන ගත්තේද ළ.ක්‍රි.වී යෙන් ය. කියන්නට ගියහොත් පොස්ටුව සෑහෙන දිග වන්නේය.

          ළ.ක්‍රි.වීය ලංකාවට අවේ කතෝලික ළමුන්ගේ ළමා සමාජයක් ලෙසය. එහෙත් දැන් එහි ජාති, ආගම් බේද නැත්තේ ය. ලොකු ශානට එයට සම්බන්ද වීමට හැකි වන්නේ ඒ නිසා ය. ඒ 2000 වසරය මීට වසර 13කට පෙරය. දිනා ලොකු ශානාවද ඇදගෙන ගියේ මේ ළමා සමාජයට. එය මරැය, සෙල්ලම් කිරීමටද හැකිය ඒ දවස්වල සිතුනේ එසේය. කතෝලික මිතුරනුත් සමග හරිහරියට ගැටී සෙල්ලම් කරේය. විවිද තරග වලටද සහභාගීවිය. ටික දිනකින් දින 3ක නේවාසික පුහුණුවකටද සහභාගීවිය. 60ක් 70ක් සිටි කතෝලික දරැවන් අතරේ සිටි එකම බෞද්ධ ළමයා ලොකු ශානා ය. අවුලක් නැත සමහර අවස්ථාවක අනෙක් සැමටම වඩා ඉදිරියෙන් ඉන්නට හැකි විය.

          ලොකු ශානා නාට්‍ය කරණයට අත් පොත් තැබුවේද ළ.ක්‍රි.වීයෙනි. අපේ ලංකා අද නාට්‍ය උපදේශක වරයෙකි. ඔහුද මාද නාට්‍ය කලේ එකටය. කාලයත් සමග පරිනතවී අප වේදිකා නාට්‍යක්ද කලේය. එය අපේම නිශ්පාදනයකි. නලු නිලියන්ද අපිමය. සැමටම පන්නරය ළ.ක්‍රි.වීයය. ලොකු ශානා ඩයලොග් ආයතනයට සම්බන්ද ඇඩ්වර්ටයිසින් ආයතනයක රැකියාවක් කලේ උ/පෙළ අවසන් වනවාත් සමගය. තනතුර මයික් කන්නාය(නිවේදක) තිබුනේ ඩයලොග් ආයතනයේ ප්‍රමෝෂන් වල නිවේදන කටයුතු කරන්නටය. ලවුඩ්ස්පීකර දෙකක් සවිකර තිබූ පොඩිවෑන් එකකුත් ලැබුනේ රියදුරැ කොලුවෙකුද සමගය. ප්‍රමෝෂන් එක ඇති තැන සිට කිලෝමීටර 10ක 15ක වටප්‍රමාණයක් මේ වැන් රියේ ගොස් ආවරනය කරන්නට සිදුවූනේ ය. දුරකථන ආයතන වල ප්‍රමෝෂන් තහනම් කරනවාත් සමග රැකියාවද නැති විය. එහෙත් එතෙක් රැකියාව කරන්නට මුල් පන්නරය ළ.ක්‍රි.වී යෙන්ය.

          අද ලොකු ශානා තොරතුරැ තාක්ෂන උපදේශක වරයෙකි. ළමුන්ට කතාකරන්නට, යමක් පහදා දෙන්නට මුල් පුහුණුව ලැබුවේ ද ළ.ක්‍රි.වී යෙනි. ඒ අනුශාෂක වරයෙකු ලෙස වැඩකරන්නට පෙර ලැබුනු පුහුණුවෙන්ය. පුහුණුව අතරතුර පැවති දේශනයකට විරැද්දව මම සහ දිනා කථා කල හැටි අද වාගේ මතකය. දේශනයෙන් පසු ළ.ක්‍රි.වීයේ ලොකු අයියා(ලොකු ප්‍රියන්ත අයියා) අපිදෙදෙනාට වෙනමම දේශනයක් දුන්නේ ය. එදා ලැබූ පන්නරයෙන් අද පුංචි උන්ගේ සිත් වලට කථා කරන්නට ලොකු හැකියාවක් ලොකු ශානාට ඇත. ලෝකයේ අමාරැම වැඩය පුංචි උන් සමග වැඩ කිරීමය. උන්ගේ හිත් අදුනාගැනීමට ඒ හිත් වලට කථා කිරීමට හැකිනම් එය ලෝකයේ ඇති සුන්දරම දෙයද වන්නේය. උන්ගේ හිත් වල තරහ, වෛර, ඉර්ශ්‍යාව නැත්තේ ය.

          අද ලංකාව වටේම ලොකු ශානාට මිතුරැ මිතුරියන් ඇත. ඒ හැමෝම ළ.ක්‍රි.වීයේ අදරණියයන්ය. පුංචි දරැවන් සමග වැඩකරන්නන් ය. ළ.ක්‍රි.වීයේ පන්නරය ලැබුවන් ය. ලොකු ශානා මෙන්ම ඔවුන්ද ළ.ක්‍රි.වීටය තුතිපුදනු නොඅනු මානය. ආදරණියය ළ.ක්‍රි.වී යට බොහෝමත්ම තුති.

ප.ලි. - ලොකු ශාන තවමත් ළ.ක්‍රි.වීයත් සමග බැදී වැඩකරන්නේය. ඒ පුංචි උන්ගේ හෙට ලෝකය දිනවන්නටය.

චූන් පාන්


චූන් පාන් යනු මේ කාලේ බේකරි කාරයන්ගේ ප්‍රසිද්ද වැඩ කටයුත්තකි. සෑම නගරයකම පාහේ හවස හතර පහ පමන වන විට බේකරි කාරයන්ගේ රෝද තුනේ චූන් පාන් වාහන සෑම අතුරු මාර්ගයක් ඔස්සේම යන්නේ කඩ කාරයන්ගේ ඇනුම් බැනුම් නොතකාය. සවස් වෙද්දී ඉලියට බසින චූන් පාන් නිසා පාන් විකුණන අහින්සක කඩකාරයන්ගේ බඩට පහර වදින බව නොරහසකි. කඩයේ විකුණන මිලටත් වඩා අඩු මිලට ගෙදරට පැමින විකුනද්දී තකහනියේ කඩයට ගොස් පාන් ගන්නේ එහෙමත් එකෙකි. කෙසේ නමුත් අප අසල්වැසි නගරයක නොමිලයේ චූන් පාන් බෙදූ කතාවක් පසුගිය කාලයේ කන වැකුනි. ඒ පසුගිය අවුරුද්දේ ගන් වතුර දැමූ කාලය තුලය. ගන් වතුරින් අසරන වූ ජනතාවට වතුර බැස ගිය විට නොමිලයේ පාන් බෙදීමට තරම් එම බේකරියේ අයිතිකරු කාරුණික වී ඇත. 

චුන් පාන් සබ්දයක් ඇසුනු විට ගමේ පොඩි කොලු කුරුට්ටන් ගෙදර ඇත්තන්ට වද දෙමින් පාරට දුවන්නේ චූන් පාන් නවතා ගැනීමටය. සමහරුන් කල්තියාම පාරට වී සිටින්නේ පාන් ගැනීම සදහාය. යන එන අයගේ විමසීමට මම චූන් පාන් එනකන් ඉන්නවා යැයි කියමින් පාරට වි සිටියි. පොඩි උන්ගේ ලෝකයේ එක් පසෙක සිටින වීරයෙක් ලෙසය මා චූන් පාන් අයියාව දකින්නෙ. සමහර පොඩි උන්ගේ ක්‍රිඩාවක් වී ඇත්තේද චූන් පාන් විකනීමයි.

චූන් පාන් ගැන කතා කොරන්නට මට සිතුනේ අද සවස අපේ ගමේ චූන් පාන් අයියාගෙන් පාන් ගත් පසුවය. ඇත්ත වශයෙන්ම ඔහු දියුනු වෙන මිනිසෙකුට ආදර්ශයට ගත හැකි චරිතයකි. චූන් පාන් අයියා මුලින්ම පාන් විකිනීම ආරම්භ කලේ යතුරුපැදියක පිටුපස වීදුරු වලින් සෑදු පාන් පෙට්ටියක් බැදගෙනය. ඔහුට කලින් පාන් විකිනූ අයගේ බාදා මැද ඔහු තම ගමන ඉදිරයට ගියේය. දිනක් ඔහුගේ පාන් පෙට්ටිය බැද තිබූ ලනු ලෙහී. සම්පූර්ණ පාන් පෙට්ටියම බිම වැටී කුඩු වී ගියේය. ඒ බව මා දැනගත්තේ ඔහුගේ පාපැදිය අලුත්වැඩියා කරමින් තිබූ අවස්ථාවේ ඒ පිලිබදව විමසීමෙන්ය.

මම:- අයියා මොකද උනේ බයික් එකට 
චූන් පාන් අයියා:- පාන් පෙට්ටිය වැටිල කැඩුනානේ මල්ලි ඒක හදන්න දැම්මෙ බයික් එකට නම් අවුලක් නෑ
මම:- පානුත් එක්කමද?
චූන් පාන් අයියා:- ඔව් මල්ලි පාන් දෙක තුනකට වඩා වික්කෙ නෑ එහෙම්පිටින්ම වැටුනා

දැඩි සංවේගයක් මගේ සිතෙහි හට ගත්තේ සිදුවීම ඇසූ විටය. මම කල්පනාවට වැටුනු හැටියෙන්ම මූඩ් අවුට් ගිය බව දැනගත් ඔහු.

ඔව්ව ඔහොම තමා මල්ලි අපි යන හැම පාරක්ම හොද පාරවල් නෙමේනෙ

ඔහුගේ මේ කියමන හුදෙක් ඔහු පාන් රැගෙන යන පාර ගැන කීවාට වඩා ජීවත මන් තලාවේ ඇති බධා ගැන කියූවක් ලෙස මට සිතුනි. ඉන් මාස කිහිපයකට පසු ඔහුගේ බේකරියේ නම සහිතව චූන් පාන් ත්‍රීවිලරයකු හන්දියේ හදමින් සිටිනු දුට මට ඔහු පිලිබද ‍ගෞරවයක් හට ගත්තේ නිතැතින්ය. තමන් යන ගමන පියවරෙන් පියවර ඉදිරියට යාමට නොසැලෙන ශක්තියක් ඔහු තුල ඇති බව මා හට පසක් විය. සෑම කෙනෙකු සමගම සිනාමුසු මුහුනින් සිටන ඔහු තුල මානුෂීය ගති එමට විය. අප නිවස අසල තිබූ මල ගෙයක හත් දවස අවසන් වන තෙක්ම ඔහු ඒ අසලින් යන විට ඔහුගේ චූන් පාන් සබ්දය නවතාගෙන ගිය බව මට මතකය. නමුත් චූන් පාන් යැයි කිව හැකි ටාටා වර්ගයේ බට්ටෙක්ද අප පාරේ ගමන් කරයි. ඔහු කිසිම හැගීමකින් තොරව ශබ්දයත් සමග එතනින් ගිය බව මගේ මතකයේ ඇදී ඇත.

අප අවට අපත් සමග සැරි සරන චරිත තුල යම් විශේෂිත බවක් අපට දැනෙන්නේ ඔවුන් තුල ඇති මානුෂීය ගුනාංග නිසා බව මට සිතේ. එවැනි චරිතයක් ගැන මෙවැනි සටහනක් හෝ තැබීමට හැකි වීම ගැන මා තුල සතුටක් හට ගන්නේ ඉනිසායැයි මට සිතේ.

වීථියේ ඇදුමින්ම බසයට

          

    තවත් පෝස්ටුවක් කොටන්නට සිතුනේ ය. උදේ සිටම එහෙට මෙහෙට වී සිටියේ ලියන ඒවා කියවන්නෙකු නැති බැවිනි. ඒත් ගේම අතහරින්නටද බැරිය. කෙසේ හෝ දැන් බ්ලොග ලියන්නට පටන්ගෙන ඇති බැවිනි. බ්ලොග ගැන ලිංකුවක් මුහුණුපොතේද දැමුවේය. දැමූ විගසම බ්ලොග බැලුවේ අසේල මලයා ය. මලයා අදුනාගෙන වැඩි කලක් නැත. එහෙත් පරණ උන්ට වඩා හිතවත් විය. හමුවී කතාකර ඇත්තේද දවසක් හෝ දෙකකි. ඊයේ මුහුණුපොතින් හමුවූවිට ඔහු ඇසුවේ බ්ලොග නැගලා යනවාද යන්නයි. ලොකු ශානා පිළිතුරැ දුන්නේ නැගලා ගියද නැතිඋවද දිගටම ලියනවා යන්නයි. එනිසාම මතක පොත අවුස්සා තවත් පිටුවක් සොය ගත්තේ පෝස්ටුවක් කොටන්නටය.

          ලොකු ශානා අ.පො.ස සා/පෙ ලිය ගෙදර ඉන්නා දවස්වලය.ඒ 2004 අවුරැද්දේය. ලොකු ශානා පාසලේ ජනමාධ්‍ය සංගමයේ සාමාජිකයෙකි. සා/පෙ නිසා සංගමයේ වැඩ ඇනහිට තිබුනත් පාසලට කැදවීමක් ලැබුනේ නැවත වැඩ පටන් ගන්න ය. දසුන(ගුවන් විදුලි නාලිකාවක ලොකු තනතුරක් දරනාවයැයි ආරංචිය), සුජිය, ගිහාන්(දැන් රටෙත් නැත), වන්නිය(ඉදුණිල්), මුට්ටිය(රවින්ද්‍ර), දිනා, කුෂා, මොහොමඩ්, සරෝදා, මධුරංග තවත් හිටියාද මතක නැත. (කවහරි අමතක උනානම් සොරි වෙන්න ඕනා) කට්ටිය පාසලට සෙට් උනේය. අරමුණ වීථි නාට්‍යක් කොරන්න ය. ලොකු ශානටද තරමක රගපෑමේ හැකිවාක් ඇත. යන්තම් ගුටි නොකා ටිකට් විකුනා ලද මුදලින් කල උත්සවයේ හොදම නලුවා ලොකු ශානා ය. ලැබුන පොඩි කප් එකද තවමත් කැබිනෙට්ටුවේ ඇත.

          වීථි නාට්‍ය පුරැදු පුහුණුවිය මංගල දර්ශන පාසලේම පැවැත්විය. ප්‍රතිචාර හොදය අනෙක් පාසල් වලටද ගෙන යන්නට කතිකා කරගත්තේය. පාසල් කිහිපයකටම ගියේ ය. ලියන්නට යන සිද්දියට අමතරව සිදූවූ තවත් සිද්දියක් මතකයට නැගුනේ ය. අතින් කයිට් වූ සිද්දියකි එය පසුව ලියන්නේ ය. කියන්නට යන සිද්දිය වූ දා පාසල් දෙකකටම යෑමට තීරණය කරගෙන සිටියේ ය. පාසල් දෙකම ලොකු ශානාගේ නිවෙස අසලය. නමුත් එක පාසලක් ප්‍රධාන මාර්ගයෙන් සෑහෙන ඇතුලේ ය. ඒ මාර්ගයේ බස් වැඩ කලේද වෙලාවෙන් වෙලාවටය එකක් මිස් උනහොත් සොරිය. අනෙක ඇත්තේ පැය ගණනකට පසු ය. උදෙන් සෙට්වී පළමු පාසලට ආවේය. සාර්ථකව වැඩය නිම කලේය. නමුත් සිතුවාට වඩා වෙලාව ගතවී ඇත්තේය. අනෙක් පාසලට යාමට බසය ඇත්තේ පැය බාගයකින් පමණය.

(මේ අපි නෙමේ හැබැයි)

          සමහරෙක් සරම් ඇදගෙනය, බැනර් වලින් මැසූ ඇදුම්ය, මුහුණු පුරා මේකප් උලාගෙනය. කථා නායකයා මොහොමඩ් ඇන්දේ කාන්තාවකට ය. බොරැ කොන්ඩයක් දමා ඇත. පොල්කටු තබා උඩු කයද යසට සකසා ඇත. දුටුවෙකු සිතන්නේ කෙල්ලෙකු කියාමය. කෙල්ලකගගේ කට හඩින් කතාකරන්නටද මනා හැකියාවක් තිබුනේ ය. නැවත ඇදුම් මාරැකරන්නට ගියහොත් බසය මිස් වෙනවා ශුවර් ය. මේ අතර එකෙක් මරැ යෝජනාවක් ගෙනාවේ ය. ඒ එම ඇදුම් වලින්ම අනෙක් පාසලට යාමය. පළමු විරෝදය මොහොමඩ් ගෙන්ය.

මොහොමඩ් - පිස්සුද බං මට මෙහෙම යන්න බෑ. උබල ඕන මගුලක් කර ගනිල්ල මං නම් ඇදුම් මාරැ කරගෙන එන්නෙ.

මධුරංග - ඇදුම් මාරැ කරකර ඉන්න ගියොත් වෙලා යනව බන්. අපි එනකම් බස් එක නවත්තන් ඉන්නෙ නැහැනෙ.

මොහොමඩ් - පිස්සුද බන්. මං කොහොමද කියපල්ල මෙහොම යන්නෙ. බලහන් ___ දෙකත් දලා.

දසුන් - මේ යමන් යමන් ඔහොම.

මොහොමඩ් - පිස්සුනම් කෙලින්න එපා මටනම් බෑ.

          එකම ආතල් එකකි. අරෑ යන්නම බැහැ කියයි. අනිත් උන්ටනම් ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය ඇත්තේ මුටය. ඒ කෙල්ලකට ඇද තිබීමයි. ඒ අතර පොර උඩුකය සකසා තිබූ පොල්කටු ගලාවාගෙන එන්නම් කියයි. එය ගැලඋවහොත් වැඩේ හොදටම නොන්ඩිය. වැඩේ නෝන්ඩි උවහොත් ලොකු ශාන ගමේ ඉදලත් හමාරය. කෙසේ හෝ මූට සීට් එකක් අරන් දෙන පොරොන්දුව පිට එලෙසම යන්නට පිටත්විය. බසයට ද නැගුනේ ය. දැන් ආතල් එකේ හොදම හරියය. අපේ කෙල්ලට ලැබුනේ ටිකක් වයස පහේ ඇන්ටි කෙනෙකු ලග අසුනකි. ඇය කිහිප විටක්ම ඔහු දෙස බැලුවේ මේ කොල්ලො ටිකත් සමග යන කෙල්ල කවුදැයි හදුනාගන්නට මෙනි. අපේ උන් දැන් හිමිහිට සින්දුවකුත් කියයි. අතරින් පතර අරැගේ ඇගේ එහෙන් මෙහෙන් අදි. ආතල් එක හොදටම නැගයයි. පොරට දැන් මලය බනින්නටද බැරිය. මොකද පොර කෙල්ලගේ චරිතයේ ය. අපේ උන්ද ගේම අතහරින්නේ නැත.

මොහොමඩ් - අනේ නැන්දෙ මේ බලන්නකො මේ කොල්ලො මට ඉන්න දෙන්නෙ නැහැනෙ.(කෙල්ලකගේ හඩින්)

          අපේ උන්ගේ කටවල් ඇරැනි. සිද්දිය දැක සිටි අර ඇන්ටි සිතුවේ මේ ඇත්තටම කෙල්ලෙක් කියා ය. අපේ උන් දෙස රවා බැලුවේ ය. වැඩේ දෙල් වන්නට කලින් බහින තැනට පැමිණියේ කාගේත් හොදටය. බැස්ස විගසම අරෑ කාගේ කාගේත් ජාතිය ඇමතුවේ ය. කෙසේ උවත් මාස ගණනක් හිනාවෙන්නට කාරනා ඇතිව ආපසු පැමිණියේ වෙන අකරතැබ්බක් නැතිව ය. හිත හැදෙන්නවත් කොමෙන්ටුවක් කොටන්නේනම් අගය කරමි.

          පිය මැනගිය අතීතයේ තවත්  මතක සටහනකින් නැවතත් හමුවෙන තුරැ සැමට ජය...!!!

          

Wednesday, May 29, 2013

කොඩි විකුණනවද? ගුටිකනවද?


          පොස්ටුවක් ලියන්න කියලා ඉද ගත්තහම පට්ටම සීන් මතක් වෙනව මොකක් ලියන්නද කියල හිතා ගන්නා බැහැ. ඒ අතරේ පොඩිකාලේ (පොඩි කාලෙ කිව්වට 9 ,10 වසරෙ වගේ හරියටම මතක නෑ)  වෙච්ච සීන් එකක් මතක් උනා. ඒ කාලේ ලොකු ශානා ළමා සමාජෙකට සම්බන්ද වෙලා හිටිය. (තාමත් ලොකු ශානා ඒකට සම්බන්ද වෙලා වැඩ කරනව හැබැයි දැන්නම් පොඩි නෑ හොදද) මේ ළමා සමාජෙ නීතියක් තිබුනා කිසිම වැඩකට පිට අයගෙන් සල්ලි එකතු කරන්න තහනම් ඕනවෙන සල්ලි හොයා ගන්න හැම අවුරැද්දෙම තියෙනව කොඩි සතියක්, මේ සතියෙදි හම්බවෙන කොඩි ටික පොඩි කැට පොඩ්ඩකුත් අරගෙන ගිහින් කට්ටියට දීල ඒ අය දෙන කීය හරි අර කැටේට දාගෙන එන්න ඕන. ඕන්න ඉතින් මේ කියන අවුරැද්දෙත් ඔය කියන කොඩි සතිය අවයි කියමුකො. ඔන්න දැන් කට්ටිය සෙට් වෙන්නෙ කොඩි විකුණන්න යන්න.

          අහ්... සෙට් එක කවුද කියන්න අමතක උනානේ. ලංකා(පැණි අප්පයා), දිනා(මුන් දෙන්නම ලොකු ශානගේ හොදම යාලුවො දෙන්නෙක්, තාමත් එහෙමයි), නුවනා, සදුනා, සදුන් මලයා(හනුමා-මූ තමා කථා නායකයා), ලහිරැ මලයා, තව මලයෙක් දෙන්නෙකුත් ගියා වගේ මතකයි. නෑ නෑ ගැහැණූ දරැවො සම්බන්ද උනේ නෑ මේකට වෙලාවට එහෙම උනානම් වැඩිපුරත් එක්ක නා ගන්න තිබුනා පහල ලිදෙන් ඇදගෙනම. ඔන්න ඉතින් කස්ටිය සෙට්වෙලා එහෙම යන්න පිටත් උනා. පුටාර් වල තමා ඉතින් මොකද අපිට බයික් තිබුනයෑ. ඔන්න දැන් එක ගමකට ගියා වැඩේ ගානට යනවා. යන යන ගෙවල් වලිනුත් හොද බකප් එකකුත් හම්බවෙනව කැටෙත් ටික ටික පිරෙනවා අපිටත් හලි තන්තෝතෙ බෑ. ගමේම ඇවිද්දත් තවත් කොඩි ඉතුරැයි. මේ අතර එකෙක් කියනව එහා ගමටත් යන්ලු. මොකෝ බැරි නේද මේ ගම ඉවර වෙද්දි අනික පටන් ගන්නවනම්. හැබැයි ඉතින් අපේම කරැමෙට මෙක තනි ගම්මානයක් අනිත් ගමට යන්න මුහුදු වෙරළ දීගේ නොසෑහෙන දුරක් පුටර් පාගන්න වෙනවා. ඒත් ඉතින් ගමනනම් ආතල් මොකද මූහුදු හුළං වැදි වෙදි ගිය හැකිනෙ. කොහොමින් කොහොම හරි අනිත් ගමට යන්නත් ස්තීර උනාලු.

          ගමනේ පළවෙනි අකර තැබ්බියට මුහුණ දෙන්න උනේ අර මුහුදු වෙරළ අයිනෙ තියෙන පාර දිගේ යද්දි. එකපාරටම පුටර් එකකින් ලොකු සද්දයක් ආව. මතක හැටියට නුවනගේ පුටාර් එක.

නුවන් - අඩේ මගේ පුටාර් එකේ චේන් එක කැඩුන බං.

දිනා - මොන මගුලක්ද බං කැඩිච්ච ලකඩමක් අරන් ඇවිත් දැන් කොහොමද යන්නෙ කියපං.

          දැන් වැඩේ නැගල යනවා පුටාර් එක කැඩිච්ච එකාව මග දාල යන සයිස්. ඒ අතරේ අපේ ලංකද කොහෙද පුටාර් එකක තිබුන ලණුවක් අරන් අපි මේක ඇදගෙන යන් බං කියලා එක පුටාර් එකක ලැගේජ් එකේ ලණුව ගැට ගැහුව දැන් අපි කැඩුන බයිසිකලෙත් ඇදගෙන යනවා.අනිත් ගමටත් ගිහින් වැඩෙත් හොදට කරගෙන ඔන්න ගෙවල් වලට එන්න පිටත් උනා. එන අතර මග තිබුන ගෙවලුත් අතහැරියෙ නෑ හැබැයි. ඔහොම එනකොට කොල්ලෙක් අපේ පස්සෙන් කැරකි කැරකි එනවා. මොන මගුලට එනවද මන්ද ඇයි යකෝ අපිත් එක්ක කෙල්ලෙක්වත් හිටියනම් හිතුවැහැකි එකි පස්සෙවත් එනව කියලා. 

අපේ සෙට් එකේ එකෙක් - අඩේ මූනම් එන්නෙ අපේ කැටේට ගේම දෙන්න.

තවත් එකෙක්(මමමද මන්ද) - සිරාවටම ඔවු වගේ බං.

තවත් එකෙක් - මේ ඔය කොඩි වික්ක ඇති යමල්ලා ඉක්මනට යන්න.

          අනේ අරෑට පින් සිද්ද වෙන්න අපෙන් අනිත් ගෙවල්වලටනම් කරදරයක් උනේ නෑ. අපිත් උට බැන බැන ආපහු එනවා. ඇයි යකෝ අපිට හම්බවෙච්ච හොදම ගෙවල් ටික තිබුනෙ ඒ හරියෙ. මූත් ගේම අත හැරල නෑ වගේ පස්සෙන්ම එනවා. වෙලාවකට අපිව ඉස්සරකරල ගිහින් මග නවත්තන් ඉන්නව අපි පහුවෙනකම්. අපි සෙට් එකක් හිටියත් හිතට බයයි. ඇය දන්න කියන කවුරැවත් ඒ පැත්තෙ නැහැනෙ. ඒකාලෙ දැන් වගේ පෝනුත් නෑනේ කෝල් එකක් දීල කාට හරි කියන්න. ඹහොම එද්දි හොද වෙලාවට අපේ දිනා අදුනන කඩයක් හම්බ උනා අපි ඒ කඩේ අයියට විස්තරේ කිව්වා. අයිය කාරය මොනා උනත් හොද බුවා අරෑට කථා කරල ඇහුව මොකද අපේ පස්සෙන් අවෙ කියලා. මූ ගත්කටටම කියපි නිකන් කියලා. අපු තරහට අයින්න හිතුනා උට හොදවයින් දෙකක්. කොහොම හරි වැඩේ ශේප් වෙලා දැන් අර පොරත් හිමීට වෙන පාරකින් හැරිල යන්න ගියා අපිත් එන්න පිටත් උනා

හූ........... හූ.............. හූ.............

          මල මගුලයි අපේ හනුමා අරෑට හූ කියපි. ආ වැඩේ කරගන්නටත් බැරිව තදවී සිටි උගේ මල ඩබල් වෙන්නට ඇති. බයිසිකලය හරවාගත් සැනින් පොර අපේ හනුමා ඉදිරියේ ය. හනුමාට කටඋත්තර නැත අපිටද එසේම ය. හනුමාට නිල් බෝල, රතු බෝල පෙනෙන්නට වදින්නට යන්නේ ය. හනුමාගේ වෙලාව නරකමද නැත සීන් කෝන් එක දුටු අර අයියා සැනෙකින් දුව විත් හනුමාව බේරා ගත්තේ ය. නැතිනම් උට කන් බෙරයක් දමන්නට වෙන්නේ ය. සිද්දිය යන්තමින් සමතයකට පත් විය. කොඩි විකිණීමද එතනින්ම නතර කල අපි ආපසු පැමිණියේ හනුමාට දෙස් දෙවොල් තබමිනි. තව ටිකෙන් හනුමාගේ ගිණුමෙන් අපිටද හොද හෝටලයකින් කන්නට ලැබෙනු ඇත.

          පිය මැන ගිය අතීතයේ තවත් මතක සටහනකින් නැවතත් හමුවෙන තුරැ සැමට ජය...!!!

විකියාගේ වලි බේරුම


ඊයේ හවස අපේ අයියා (ලොකු ශානා) ක්‍රිකට් ක්‍රිඩා කොරන්ට ගොස් ආපසු ගෙට ගොඩ උනේ අඩේ අපිත් බ්ලොගයක් හදමුද කියාගෙනය. දවස් කිහිපයක සිට ලොක්කා සයිබරයේ බ්ලොග් පීරමින් සිටි බව මට මතකය. කෙසේ නමුත් ලොක්කා තමන්ගේ බ්ලොගයට ලොග් වෙන අවස්ථාවේ ඒ දෙස බලා සිටි මම දුටුවේ 2010 වසරේ අග බාගයේ නිර්මාණය කොර ඇති බ්ලොගයකි. යකෝ මම සාපේ ලියලත් නෑනේ ඒ වෙනකොට. කෙසේ හෝ එසේ නිර්මාණය කර තිබූ බ්ලොගය ඒ දවස් වලම ඇනහිට ඇත. ඊයේ රාත්‍රියේ ම නිදා ගැනීමට යන විට ලෙකු ශානා පොස්ටුවක් කොටමින් සිටි බව මට මතකය. එය මා දුටුවේ උදේ මේ පැත්තේ ආ විටය.


 අද උදෑසන කාගේ හෝ බෙරිහන් දීමකින් උඩ ගොස් අවදි වූ මම මාගේ දුරකථනය ගෙන බෑලුවිට පාසල් යාමට තරම් වාතාවරනයක් නැතිබව දුටිමි. වෙනදාට උදේ වලිගේ ගිනි ගත් හනුමා සේ ගෙදරින් පිටව යන වේලාවත් පසු වි ඇත. ගෙදර ඉන්නවාට වඩා ස්කෝලෙ යන එක සුපිරිය. ස්කෝලේ ගොස් කුමක් හෝ බාල්දියක් පෙරලා චාටර් වෙන එක ගෙදර ඉන්නවාට වඩා ජොලිය. ස්කෝලේ වෙච්ච සිද්දි ගැන හිත හිත ඉද්දි මතක් වූ එක් සිද්දියක් බ්ලොග් පොස්ටුවක්ට හරවන්නට අදහසක් ආවේ එවිටය.


 සිද්දිය අපේ පාසලේ ආදරණිය ගුරු බවතෙක් සම්බන්දවය. විකී යන අනවර්ත නාමයකින් හදුවන්න ඔහු කෙල්ලන්ගේ කෙසේ වෙතත් කොල්ලන්ගේ හොද මිතුරෙකි. සිසුන් පාලනය කිරීමේදි විශේෂ දුර්වලතාවයක් දක්වයි. ඒ ඔහුගේ හැටිය.අපේ පන්තියේ ගලියා සහ ඩිලා නයි වෛරක්කාරයෝ දෙදෙනෙකි. ගලියාගේ විකාර නිසා ඌත් සමග අමනාප නොවු කිසිවෙක් පන්තියේ සිටියාද යන්න සැක සහිතය. ගලියා ඇග පතින් අපේ පන්තියේ සිටි ලොකුම එකාය. ඩිලාට වලි පෙන්නන්ට බැරිය. වලියක් දුටු තැන පැන පැන දෙන ගතියක් ඌ තුල විය. නිකමටවත් ඌ මේ පෝස්ටුව කියෙව්වොත් මට ලුනු ඇබුල් ඇතිව සුද්ද සිංහල පාඩමක් කියා දෙන බව සුවර්ය. පොඩි කාලේ අපේ උන් ගහ ගත්තේ, පැන්සලක්, මකනයක්, පුටවක් හෝ මේසයක් වැනි අජීවී ද්‍රව්‍ය වලට බව මට මතකය. ඒ 4 5 වසරවල් වලය. ටිකක් වැඩුනු විට ජීවී වස්තූන් වෙනුවෙන් වලි දා ගැනීම සාමාන්‍ය දෙයක් විය. නමුත් මා අකමැතිම දෙයද එයමය.


කෙසේ නමුත් ගලියා සහ ඩිලා 4 පන්තියේ වැඩක් කලේ 12 පන්තියේ වීම කනගාටුවට කරුනක් නොවේද. මුන් දෙදෙනාගේ හැටි දන්න නිසාම අපේ සාමූහික කොල්ලන් සැට් එක මුන් දෙදෙන පුලුවන් තරම් ඈත් කොර තබන්නට වෙහෙස ගත් හැටි මට මතකය. අවාරෙට පොල් වැටෙන්නේ කෙසේද එසේම පාසල් එන පොරක් වු ගලියා එදා උදෑසන ඩිලා සමහ පැටලුනේ පුටවක් නිසාය. දෙදෙනා අම්බානෙට මරා ගත් අතර විකියා අද ගොලු බීරියෙක් සේ නාම ලේඛනේ ලකුනු කරමින් සිටියේය. අපේ අහින්සක පන්ති නායක තුමා විකියාට කෑ ගසන තුරු ඔහු හැරුනේවත් නැත


වලිය සිදු වෙමන් සිටි තැනට ලගා වු විකියා නවත්තනවා ඔය ගහ ගැනිල්ල යැයි කියමින් කෑ ගැසුවද තමන්ගේ කාරියට සිත යොමු කරගෙන සිටි ඩබලට එය ඇසුනේ නැත. ආපහසු හැරුනු විකියා තමන්ගේ පාඩුවේ නැවතත් පුටුවේ ඉදගෙන නාමලේඛනය ලකුනු කරන්න ගත්තේය. කොල්ලන් අපහසුවෙන් මේ අලි දෙදෙනාව බේරා ගත්තේය. අහින්සක සම්පාගේ මුන් ඉදිමෙන්නට පාරක්ද වැදී තිබුනි. ඩිලාගේ මූනද ගලියාගේ තොලද පැලී තිබුනේය. ඒ විකියා වලිය බේරු හැටිය. පසුව මහියාත් සමහ පන්තියට පැමිනි විකියා කවුද අර ගහ ගත්තු දෙන්නා කියා ඇසුවේ තමා අහලකවත් නොසිටි ලෙසය. වැඩි පුරස්නයක් නොවී ඒ සිද්දිය අවසන් වුයේ විකියාගේ වැඩ නිසාය.


දැන් අපේ ගලියාගේ අවාරෙට පොල් වැටෙන ගසේ පොල් වැටෙන්නේම නැත. එනම් ඌ මාස කිහිපයකින් පාසලට පය තියා නැත. එම නිසාදෝ අප පන්තිය සාමකාමී තැනක් බවට පත්වී ඇත.


එවැනිම තවත් සිද්දියක් වාර්තා වූයේ ඊට මාස දෙකකට පමන පසුය. ඒ පොලිටිකල් කාමරය තුල ගෟව්වත් බුදයත් අතර ඇති වූ ගැටුමයි. පෙර සේම වලිය අවසන් වන තුරු බලා සිටි විකියා. උන් දෙදනාව පන්තියෙන් එලවා දමා තිබුනි. බුදයාගේ තාත්තා අප පාසලේම ගුරු බවතෙකි. බුදයා අහින්සකයා බව හැම දෙනාම දන්නා කරුනක් වුවත්. ඔහුගේත් ගෟව්වාගේත් වලියට හේතුවන්ම් සිතා ගත නොහැක. ගෟව්වා හැ බුදයා පන්ති දෙකක දෙදෙනෙකි එකෙක්වත් අපේ පන්තියෙ සිටියෙ නැත.


 සෑම පන්තියක්ම පොලිටිකල් වැනි කාණ්ඩ විෂයන් සදහා යන්නේ එකටය. සිද්දිය කන වැටුනු බුදයාගේ ආදරනීය පියා මොහොතකින් පැමින තිබුනි. බුදයාගේ පියාට වඩා දෙගුනයක් විශාල ගෟව්වාගේ කොලරයෙන් අල්ලන්ට බැරි නිසාම කලිසමෙන් අල්ලා ඇද මොන මොනවාදෝ කියෙව්වත් ගෟව්වාටවත් ඒවා හරියට ඇසී නැත. විකියාගේ වලිබෙරුම එලෙස විය.


එක් අතකට විකියා නිවැරදි යැයි කිව හැක. ගහ ගන්න දෙදෙනාව මගින් නැවත්තුව විට නැවතත් උන් දෙදෙනා එක්මනින් ආයෙත් වලියක් දා ගන්නට ඉඩ ඇති බැවින් ඇති තරම් ගහගන්නට දී බලා සිටිම හොද වැඩකි.


ප.ලි. මේ පොස්ටුව කෙටුවේ පොඩි ශානා විසිනි. ලොකු ශානා සහ පොඩි ශානා පටල ගැනීම නොකරන ලොස ඉල්ලා සිටිමි. අපගේ මේ අහින්සක උත්සාහය මල් පල ගැන්වීමට මිතුරු ඔබලාගේ උදව් අවශ්‍ය බැවින් පොස්ටුවේ හොද නරක පිලිබද කොමෙන්ටුවක් කොටන්නට අමත නොකරන ලොස ඉල්ලා සිටිමි

Tuesday, May 28, 2013

සිතැගියාවේ ඇරඹුම



                     ලොකු ශානා මේ දවස්වල ගෙදර ඉදගෙන වැඩය. (ශානා කීවාට ශාන නමින් අමතන්නේ එකෙකු පමණි ඒ ප්‍රශානයා ය. බොහෝ දෙනෙකුනම් ශාන් නමින් දන්නේ ය ඒ කොම්පීතර ලෝකය තුලය) ඒ අතරේ බ්ලොගයක් දෙකක් කියවන්නට ලැබුනේ ය. බ්ලොගයක් ලියන්නටද සිතුනේ ය. ලියන්නට දේවල්ද ගොන්නක් ගාලා අවේ ය. ඒනිසාම ගූගල් එකවුන්ටය තුල හොයාබැලූ ලොකු ශානාට 2010 විතර මුලපුරන්නට හැදූ බ්ලොගයක් දැක ගන්නට ලැබුනේ ය. ලොකු ශානගේ බොහෝමයක් වැඩ එසේය ලත් තැනම ලොප් ය. (අවසන් වන තුරැ කල වැඩ නැතුවාම නොවේ) කලකට ඉහත වැඩසටහනකට නාට්‍යක් ලීවා මතකය. ඒ 2000 හෝ 2001 දීය. මතකය නිවැරදිනම් එහි නම "අතීතයයි අනාගතයයි" විය යුතු ය.
                              
                              කථා කේසේ උවද අද උදෑසන සිටම ලොකු ශානා බ්ලොග්තුල සැරිසැරැවේ ය. බ්ලොගයක් ලියන්නට ඇතිවී තිබුන උණද තවත් වැඩි වූනේ ඒ නිසාම ය. හවස්යාමයේ කොල්ලන් සමග කිරිකොට් ගසන්නට ගියද හිතේ තිබුනේ බ්ලොගය ගැනම ය. ඒනිසාමදෝ අද ශානා පිතිහරඹයේද අදක්ෂවිය උඩ පන්දු දෙකක්ම අත හැරියේ ය(ලොකු ශානාට හොදටම බැරි උනත් කිරිකොට් ගසන්නට හැකියාවක් ඇත). කිරිකොට්ගසා ගෙදර ආවේද බ්ලොගයගැනම සිතමින් ය. ගෙදර ආගමන් පොඩි ශානාගෙන් ඇසුවේ අපිත් බ්ලොගක් ලියමුද බං කියා ය.

ලොකු ශානා :- අපිත් බ්ලොගක් ලියමුද බං.

පොඩි ශානා :- මොන වගේ බ්ලොගක්ද? අර ___ එක වගේද?(ප්‍රසිද්ද බ්ලොගයක නමක් කියමින්)

ලොකු ශානා :- ඒ වගේම නැතත් මොකක් හරි ලියමු බං

                             පොඩි ශානා යනු ලොකු ශානාගේ එකුස උපන් මලයා ය. වයස් පරතරය අවු.8 පමණ නිසාදෝ දෙදෙනාගේ ඇරගැනිලි වලිවල ඉවරයක් ද නැත්තේ ය.(මේ පෝස්ටුව දැකද එයම වන්නට පුලුවන) දෙදෙනාම කොම්පීතර උණ කාරයන් නිසාදෝ පොඩි ශානාද එක පයින්(හැබැයි ඇද උඩ නිදාගෙන හිටියෙ) වැඩයට කැමති විය. පොර ඒ වන විටද මුහුණු පොතට පෝස්ටුවක් කොටා තිබුනේ වැඩ පටන්ගත් බව කියන්නට මෙනි. අවාසානය සිතැගියාවේ බිහිවීමය.(නම නම් ලොකු ශානා අවු.3කට පෙර දැමූ නමමය) ලියන්නට බොහො දේ ය. එකින් එක පෝස්ටු කොටන්නට පටන් ගන්නේ ය. සහයට පොඩි ශානා ද සිටී. මෙයද ලොකු ශානාගේ ලත් තැනම ලොප් වන්නාවූ ගොඩටනම් වැටෙන්නට නොදෙන්නේ ය. 

                           පිය මැන ගිය අතීතයේ මතක පියසටහනකින් හමු වෙන තුරැ හැමොටම ජය පතමි.