Thursday, July 25, 2013

අම්මපා දේශපාලන ලිපියක් හෝ විචාරයක්නම් නොවේ

පෙර පෝස්ටුවක සදහන් කල පරිදිම ලොකු ශානා දේශපාලනය ගැන කතාකරන්නේම නැත. පසුගිය දිනවල දේශපාලන කරලියේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්දියේදී බ්ලොග් කිහිපයකම ඒ ගැන ලියවෙද්දී මුහුණු පොතේ විවිද කතන්දර ගෙතෙද්දී ලොකු ශානා නිහඩවම සිටියේ ය. නිහඩතාවය තවදුරටත් දාරාගෙන සිටිය නොහැකි සිද්දියක් අද සිදු විය. දෙරණ රේඩියෝවේ අනුපම නොහොත් අන්කල්ගේ ගීතයක් එයට හේතු විය. ඇත්තටම පුද්ගලික අදහස කෙසේ වෙතත් ගීතය ගැන කතාකරන්නට සිතුනි. ගීතයනම් පට්ටම පට්ටය. දේශපාලනට කේසේ වෙතත් රචකයා එය නියමෙටම නිර්මාණය කර ඇත. වැඩිදුර කතාකරන්නට කලින් ගීතය අසා සිටිනේනම් හොදය.


දේශපාලන විචාරයක් කරන්නේනම් නැත. එහෙත් දයාසිරිගේ පක්ෂ මාරුව දේශපාලන කරලියේ ආන්දෝලනාත්මක සිද්දියක්ම විය. තවත් සිනහ උපදවන සිද්දියක් ඒ අස්සේ අසන්නට ලැබුනේය. කිසිදිනක දයාසිරි පක්ෂය හැර නොයන්නේය, එසේ ගියහොත් යට ඇදුම පිටින් පාරේ ඇවිදින්නේ යැයි ඔට්ටුවක් ඇල්ලූ පුද්ගලයෙකු ගැනය. ඔට්ටුව පැරදුන ඔහු යට ඇදුමින් පාරේ යන්නට ගොස් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. සියල්ල දෙස බලා සිටීමේදී වැටහෙන්නේ පක්ෂමාරුව දේශපාලන කරලියේ මෙන්ම සාමාන්‍ය ජීවිතයේද අන්දෝලනාත්මක සිද්දීන් වන බවය.

අවසන් වරට කියන්නට ඇත්තේ පෙර ලෙසම මෙය දේශපාලන ලිපියක් හෝ විචාරයක්නම් නොවේ. නමුත් සංවාදයට විවෘතය.

Wednesday, July 24, 2013

දකුණේ කෙල්ලන්ට කොල්ලන්ට ආරාධනයක්

කාලයක් දකුණු ලකේ කොම්පැණියක කාර්යාලයේ වැඩ කල නිසාම දකුණේ පිරිස් සමග ඇසුරු කරන්නට ලැබුනි. හොද නරක කලවමේ හැමතැනම ඇත්තාක් මෙන්ම හොද උන් මෙන්ම නරක උන්ද දකුණේ නැත්තාම නොවේ. සිදුවූ පුංචි අත්වැරුද්දක් නිසා බූස්ස ප්‍රදේශයේදී අපගේ ලොරියක රියදුරුට සහ සහයකයාට හොදට සැලකූ සිද්දියක් මෙන්ම 2012 වර්ශයේ නැවත සූනාමියක් ඇතිවීමේ අවදානමක් ඇතිවූ අවස්ථාවේ තම ගෙදර ගැනද නොතකා අපත් සමග සිටි සහෝදරයකුද සිතෙහි හොදින් සටහන් වී ඇත. එය එසේ වෙද්දී අද  මුහුණු පොතේ දකුණ තියෙන්නේ ලංකාවේ නෙවෙයි, ලංකාව තියෙන්නේ දකුනේ යැයි කියමින් හා තවත් විවිද නම් වලින් එක් රොක් වි ඇති දකුණේ කොල්ලන්ට හා කෙල්ලන්ට සැදැහැවත් සිතින් එක්වන්නට ආරාධනයක් කරන්නේය.



අටුවා ටිකා අවශ්‍ය නැත. මේ පෝස්ටුව ලියන්නට මග පෑදුනේ හලාවත මේ අහල පහලම ජීවත්වන පස්සා දොර ලියන චාර්මිගේ බ්ලොගය සහ අද උදේ බ්ලොගයේ දාමා තිබූ පෝස්ටුව දැකීමෙනි. තම අහල පහල ජීවත් වන වයසක අම්මලා, තාත්තලා පිරිසක් එකතු කරවාගෙන මාස කිහිපයකට වතාවක් විවිධ සිද්දස්තාන වන්දනා මාන කරවන්නට ගෙන යන මහගු පිංකමක් කරන්නට චාර්මි වෙහෙසෙන්නේය. වතාවන් ගනනාවක්ම එක් දින චාරිකා සංවිධානය කරමින් ඔහු දිගටම මේ කටයුත්ත කරගෙන ගොස් ඇත. අවාසනාවකට මෙන් මේ අහල පහලම සිටියත් මමද ඔහුගේ ඒ ක්‍රියාව දන්නේ අදය. ඉතින් මෙවර ඔහුගේ අදහස මේ පිරිස දකුණුලක සිද්දස්තාන වන්දනාමාන කරන්නට රුගෙන එන්නටය. තත්වය තරමක් දරනු වන්නේ මේ චාරිකාව එක් දිනකින් නිම කරන්නට නොහැකි වන නිසා ය. දින දෙකක් හෝ තුනක් මේ සදහා ගතවන බව මෙහිසිටම වන්දනාවේ පැමිණ ඇති මම ද දන්නෙමි. 

ප්‍රශ්න මතු වන්නේ දැන්ය. පැමිණෙන්නේ වයසක අම්මලා හා තාත්තලා පිරිසකි. ගමන් විඩාවත් සමග ඔවුන්ට ආහාර පිසගැනීමට අපහසුය. අනෙක් කරුන රාත්‍රියේ නාවාතැන් පහසුකම්ය. ඉතින් දකුණේ දයාබර කොල්ලන්ට හා කෙල්ලන්ට මේ ආරාධනය ඔහුගේ මේ කටයුත්ත සන්විධානය කරගැන්මට හා සාර්තක කරගැනීමට හැකි සෑම උපකාරයක්ම ඉටු කරදීමටය. 

Monday, July 22, 2013

සත්තයි විවේචනයක් නම් නොවේ

ලොකු ශානා දේශපාලනය ගැන කතාකරන්නේම නැත. පුද්ගලික අදහස් කෙසේ උවත් ඒ පිළිබද කෑගසා කියන්නට යන්නේ නැත. කාලයක් තිස්සේ මුහුණුපොතේ සිටියද, මසකට වඩා කාලයක් පුරාවට අටවාගත් බ්ලොගයේ විවිධ මාර්තුකා හරහා පෝස්ටු ලිව්වද දේශපාලනයට ලගින් හෝ යන කිසිවක් ලිව්වේ නැත. පසුගිය කාලය තුල සියලූම මාධ්‍ය හා බ්ලොග් ලෝකයේ බොහෝ දෙනෙකු කතාකල මාර්තුකාවක් වූවේ "ගුරුවරියක් දන ගැස්වු" සිද්දියයි. බොහෝ දෙනා විවිධ මත පලකරද්දී සියල්ල හොදින් කියවමින් ලොකු ශාන නිහඩවම සිටියේ පුද්ගලික මතය හිත ඇතුලේම රදවාගෙනය. මේ සිද්දිය සියල්ලන්ටම සිහිගන්වන සිද්දියක් ඊයේ දිනයේ සිදුවිය. 

ලොකු ශානාගේ අතිජාත මිතුරෙකුගේ නිවසේ රාත්‍රී භෝජනයකට ආරාධනාවක් ලැබුනි. රාත්‍රී අටට පමණ තවත් මිතුරෙකු සමග ඔහුගේ නිවසට ගිය මට අඩපැයක ටෙලිනාටක කොටසක් දකින්නට ලැබුනි. අමතකව ගිය සිද්දිය මතකයට නැගුනේ එවෙලෙහිය. කිසිදිනක දේශපාලනය ගෑවීවත් ඇති දෙයක් සම්බන්දව පෝස්ටුවක් කොටන්නට අදහසක් සිත්කොනකවත් නොතිබුනද මේ පිළිබදව නොලියා ඉන්නට ගත් උත්සාහය බිදදමමින් ලියපන් ලියපන් යැයි හිත කියන්නට වූ බැවින්ම ලියන්නට සිතුවේය.


කෝපි කඩය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකීයයන් ආදරයෙන් වැලදගත් කතාමලාවක් බව නොරහසකි. මතක ඇති කාලයක පටන් කෝපි කඩය ගැන මම අසා ඇත. විටින් විට නරබා ඇත. එදිනෙදා සිදුවන සිදූවීම් මුලකරගෙන ඒ වටා ගෙතෙන්නාවූ කතන්දරයක් හරහා රසික හිත්වලට පණිවිඩයක් දෙන්නට ගන්නා උත්සාහයක් ලෙස අදටද කෝපි කඩය මම දකින්නේය. යම් යම් දේවල් සාදාරණීය කරනය කරන්නට උත්සාහ ගන්නා අවස්තාද ඉදහිට දකින්නට නැතුවාම නොවේය. ඒවායින් වැඩක් නැත මේ ඊයේ දිනයේ අහම්බෙන් නෙත ගැටුන කෝපි කඩයේ කතාවයි.

සත්‍යලෙස සිදුවූ කතාවට ලෙසටම ගැනපෙන්නට මන්තිරියාගේ පුත්තරයාට පාසලේ ඉංගිරීසි ගුරා පහර දී ඇත.(දඩුවම්කර ඇත්තේ කිසියම් පුංචි වැරද්දකටය)  සිද්දිය ආරම්භ වන්නේ ඉන් පසුවය. ඉංගිරීසි ගුරා පිටගම් කාරයෙකි. ඔහුත් සමග පුද්ගලික අමනාම කම් ඇති දෙතුන් දෙනෙකු මෙයින් ප්‍රයෝජන ගන්නට උත්සාහ ගනී. ගමේ හයි කාරයෙකුත් උසිගන්වාගෙන ගමපුරා කැලෑපත්තර ගසයි. පිකටින් එකකටද සූදානම් වෙයි. කොළඹ සිටින මන්තිරියාට සිද්දිය ආරන්චි වූ විට ඔහු තම ලේඛම්ට පවසන්නේ තමන් එන තුරු කිසිවක් සිදුවන්නට නොදෙන ලෙසයි. කුහුල වැඩි වන්නේ එවිටය. සත්‍ය සිද්දියද මතකයට නැගුනේ එවේලේයි. ඒ අස්සේ ඇඩ් දෙක තුනක්ද යයි. වැරදුනාය කතාව යන්නේ ඇඩ් අස්සේය.

ගුරාට පක්ෂ කිහිප දෙනෙකුත් ගමේ සිටී. ඒ ගමේ දැනමුත්තන්ය. ගුරාට විරුද්දව කැලෑපත්තර ගැහුවාට ගුරුවරු වැඩ වර්ජනය කලේ නැත. ඒ අතින් ඔවුන් නියමය. කට්ටිය ගුරාගේ ගෙදර සාකච්චාවකය. පිකටින් එක කරන්නන් ගුරාගේ ගේ ඉදිරියටම පැමිණ කෑ ගසයි. පිකටින් එක පටන්ගන්නට පෙර සිදුවූ සාකච්චාවක් මතකයට එන්නේ දැන්ය. 

"ඔය පිකටින් කරන එක මහලොකු වැඩක් නෙමේ කෑ ගහන්න ඕන ටික ටයිප් කරල ප්‍රින්ට් කරා බෙදල දුන්න. ඕකට එන උන් කෑ ගහන්නෙ ඒක බලාගෙන. තියෙන්නෙ මොනවද කියල උන්ට වැඩක් නෑ"

 ඔන්න ඔය වගේ කතාවක්ය. ඇත්තය පිකටින් එකට එනඋන් අතට දෙන කොලය බලාගෙන ගිරිය කඩන් කෑ ගසයි. එහි ඇත්තේ මොනවාදවත් නොදනී.

වැඩේ දැන් දැන් නැගලාම යයි. මොන මගුලක්ද මන්දාය. මේ කතාවක් නිසා ඇඩ් ටික හරියට බලාගන්නත් නැත. අතරින් පතර කතාවේ කෑලි දමයි. ආයෙත් කතාව. පිකටින් එක නැගලාම යයි.  ඒ අතරේ කෙනෙකු පොලෝසියටද කෝල් කරයි. පොලොසියෙන් එයි. කදුළු ගෑස් නැත. බැටන්පොලු නැත. කතාවෙන්ම පිරිස විසිරෙයි. ඒ අතරේ මන්තිරියාගේ ලේඛම් තැන ගුරාට මන්තිරිය බැහැදකින්නට එන්නයැයි පණිවිඩයක් ගෙනෙයි. 

ගුරා මන්තිරියාගේ නිවසෙහිය. ඉහින් කනින් දාඩිය දාගෙනය. ගොඩ දැමූ තිත්ත පැටියෙකුමෙන් ගැහෙන්නේ බයටනම් නොවේය. දාඩිය දා ඇත්තේද රස්නය නිසාය. එහෙත් දෙන බීම වීදුරුව බොන්නේද නැත. ඒකනම් අපාරාදේය. මේ අතර ඌරන් කැකුණ තලන තුරු හබන් කුකුලන් රැලක්ද බලා සිටී. මන්තිරියා එයි. ගුරාට කතා කරයි. ගුරාද වෙව්ල වෙව්ලා වැරුද්දට සමාව ඉල්ලයි. අපොයි...! සිද්දිය පෙරලෙන්නේ වෙන පැත්තකටය. මන්තිරියා සමාදානයෙන් කතා කරයි. ගුරා වැරුද්දක් කර නැත. කොල්ලාවද ගෙන්වා ගුරුවරයාට වන්දවයි. මන්තිරියාගේ ඇබේනිය මරුම කතාවක් කියයි. 

"අපි ළමයව කොළඹ ඉස්කෝලෙකට නොදා ගමේ ඉස්කෝලෙට දැම්මෙ ළමයට හොද ගුණදර්ම උගන්වන්න ඕන නිසයි"

අනේ වාසනාවන්. කොළඹ ඉස්කෝලවල එතකොට ඔය කියන ගුණදර්ම උගන්වන්නේ නැද්දැයි රූපපෙට්ටියට රින්ගා අසන්නට සිතුනේය. සිද්දිය අවසන්ය. මන්තිරියා හා ඇබේණියත් ගුරාට වදී. දැන්නම් දාඩිය දාන්නේ නැත. වෙව්ලන්නේද නැත. කැකුණ තැලුනේ නැති නිසා හබන් කුකුලන් පව්ය. ගුරා දැන් මන්තිරියාටත් උඩින්ය. උපදෙස් මාලාවක්ම දෙයි. අනේ අපොයි කියා සිතුනේ ඒවා බලාන්නේ රටේ තොටේ ඉන්න පොඩි පහේ මිනිසුන් පමණක් නිසාය. ඔය කියනා කතා අපේ ලොකු තැන්වල ඉන්නා අයද බලන්නේනම් නියමය. පරහට ඇත්තේ ද එයමය.

අවසන කියන්නට ඇත්තේ එක්දෙයකි. සත්තයි මෙය විවේචනයක් නම් නොවන්නේය.

Thursday, July 18, 2013

පහන් තාරකා



ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ
රසවන්තී මිහිරියේ.........

නිදිමත වැක්කෙරෙන ඇස්දෙක ලාවට වගේ ඇරලා බැලුවෙ උදේ පාන්දර සිංදු දාන්න තරම් මොලේ අමාරුකාරය කව්ද කියල දැන ගන්න. මම ඇරෙන්න වෙන කව්ද මේ ගෙදර සිංදුවක්වත් දාන්නෙ. මල මගුලයි මේ මගෙ ෆෝන් එකේ එලාම් ටෝන් එක නේද කියල මතක් උනේ පස්සෙයි. ඇද වටේ අත ගලා ෆෝන් එක හොයා ගත්ත මම එලාම් එක ඕෆ් කරලා දාල අයෙත් කොට්ටෙ බදා ගත්ත. හප්පා පට්ට නිදිමතයි. තව පැය දෙක තුනකටවත් නැගිටින්නෙනම් නෑ කියල හිතගෙන ඇස් දෙක තද කරල පියා ගත්ත. විනාඩි දහයක් විතර නින්ද යන්න ඇති.

ආදර මධුර අතීතේ
ඔබයි සංගීතේ
මගේ හද මන්දිරේ
රසවන්තී මිහිරියේ.........

මොන මගුලක්ද මේ දැන් එක සැරයක් එලාම් එක ඕෆ් කලානෙ. අමාරුවෙන් ඇස් දෙක ඇරල ෆෝන් එක දිහා බැලුවෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න. එලාම් එක ඕෆ් වෙලා නැහැනෙ. ඇස් දෙක වහගෙන වෙන බට්න් එකක්නෙ ඔබලා තියෙන්නෙ. ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තිබුන දිනේ අහම්බෙන් වගේ ඇහැ ගැහුනෙ ඒ වෙලාවෙයි. අඩේ අද සදුදද ඉස්කොලෙ යන්නත් එපැයි මම හිතාගෙන හිටියෙ ඉරිද කියලානෙ. කොහෙද ඉතින් මතක් කරල දෙන්නවත් කවුරුත් ඉන්න එකක්යෑ. ඉක්මනින්ම ඇදෙන් බැහැල බාත්රූම් එකට දුවන ගමන් මම කාමරෙන් ඔළුව දාලා පල්ලෙහාට කෑ ගැහුව.

"සීතම්මේ තේ එකක් හදන්නෝ"

"මේ ගේනව පුංචි මහත්තයා"

බාත්රූම් එකට දුවලා වොෂ් එකක් දාගෙන එද්දි සීතම්ම කිරි එක කාමරේටම ගෙනත් තියල තිබුන. හුටා රෙදි මැදලත් නෑනෙ. කිරි එක එක හුස්මට බීල අල්මාරියෙන් යුනිෆෝර්ම් එක ගත්ත මං දිව්ව අයන් බොර්ඩ් එක ලගට. ඒ ගමන් ආයෙත් පහලට ඔළුව දාල සීතම්මට කෑ ගැහුව.

"සීතම්මේ සැන්විච් දෙකක් හදනවද මට කලා යන්න"

"දෙකක් ඇතෑ පුංචි මහත්තයට"

සීතම්ම දන්නව මම ඔය දෙකක් හදන්න කිව්වට කන්න ගත්තහම දෙකෙන්නම් නතර වෙන්නෙ නැහැ කියල.

"ඔන්න ඔහෙ එහෙනම් තුන හතරක්ම හදන්නකො සීතම්මෙ"

හිනාවෙලා කිව්ව මං ඇදුම් මදින්න ගත්තා. මං ගෙදර ඉන්නවනම් සීතම්මට කොච්චරනම් කරදරද. වෙන කාට කියලා මං කරදර කරන්නද? පුංචි කාලෙ ඉදන් මාව බලාගත්තෙ සීතම්ම. ඒ හින්දම මගේ කරදර සීතම්මට කරදරයක් නෙමෙයි. බිත්ති ඔරලෝසුව දිහාට ඇහැ කරකවල බැලුවෙ කොච්චර වේලාසනින් නැගිට්ටත් එහෙට මෙහෙට වෙලා ලෑස්තිවෙද්දි වෙලාව යනව තේරෙන්නෙ නැති හින්ද. අදනම් පරක්කු නැහැ. එහෙන් මෙහෙන් අයන් පාරක් ගහගත්තු ඇදුමත් අරන් කාමරේට එද්දි ෆෝන් එක බෙරිහන් දෙනවා. කව්ද මේ උදේ පාන්දර මට කතාකරන්නෙ. අඩේ සුදු අක්ක මොකෝ මේ උදේ පාන්දර.

"ගුඩ් මොර්නින් සුදූ මොකෝ මේ කුකුල කරේ තියන්. නැන්ද වතුර එකක් වත් හැලුවද වේලාසනින් නැගිටින්න"

උදේ පාන්දර සුදු අක්කව ටිකක් අවුස්ස ගන්න හිතාගෙන මං එහෙම කිව්වෙ.

"අනේ මේ මගෙන් මුකුත් අහගන්න එපා. කව්ද දන්නෙ නෑ අර කොහෙටද එළිය වැටෙනකම් නිදියන්නෙ"

"හෝව්, හෝව් සූදූ තරහ ගන්න එපා අනේ ඔයා ඉක්මනටම නාකිවෙයි"

"මගෙ නාකි වීමෙන් තමුසෙට වැඩක් නෑනෙ. අන්න අප්පච්චි හවසට ගෙදර එන්න කිව්ව"

දඩස්

හප්පා මේක ගිනි බෝම්බයක්ම තමයි. පොඩි වචනයක් කිව්ව ගමන් ඇති වලිගෙ පාගගන්න. මොකෝ දන්නෑ මාම හදිස්සියෙම එන්න කියන්නෙ. ඉස්කොලෙ ගිහින් එන ගමන්ම ගියානම් හරි. නැන්දගෙ බත් ටිකකුත් කාලම අවැහැකි. නැන්දටයි මාමටයි ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක්. උන් දෙන්න මට පණ ඇරල. කොච්චර උනත් මට ඉන්නෙත් ඒ හතර දෙනා විතරයිනෙ. ආ තව ටිකෙන් සීතම්මව අමතක වෙනව. 

ඉක්මනටම ලෑස්ති උන මම පහලට බැහැල සීතම්ම හදල තිබුන සැන්විච් දෙක තුනක් එක හුස්මට කාල දැම්ම. වෙනද වගේම එලියට බහින්න කලින් සීතම්මගෙ කකුල් දෙක අල්ලල වදිද්දි සුපුරුදු කදුළු කැට දෙකක් සීතම්මගේ ඇස් දෙකේ නලියනව මං දැක්ක.

"බුදුසරණයි පුංචි මහත්තය. පරිස්සමින් ගිහින් එන්න රත්තරනේ"

"සීතම්මත් පරිස්සමින් ඉන්න.  මම එන ගමන් මාමලෑ ගෙවල් පැත්තෙ යනව. එද්දි හවස්වෙනව"

"හොදයි පුංචි මහත්තය"

පාරට එනවත් එක්කම ආව ස්කූල් බස් එකේ එල්ලුනේ අදුරන එකෙක් ඉන්නවද කියල බලන ගමන්. වෙනද මේ බස් එක අතඅරින්නෙ නැති අපේ උන් එකෙක්වත් අද නැහැනෙ. මොකක්ද මේ වෙනස කියල කල්පනා කරන ගමන්ම මම ඉස්කෝලෙ ගාවින් බැහැගත්ත. ගේට්ටුවෙන් ඇතුලට එද්දිම හෙඩා එතන ඉදන් නිව්ස් එක දුන්න. හෙඩා කිව්වෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හොදේ.

"ගුඩ් මොර්නින්ග් පහන් උබ අද පරක්කුයි"

"කොහෙද බං මම පරක්කු. වෙනද එන්නෙත් මේ වෙලාවටනෙ"

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අළුත් සෙට් එක එනවනෙ"

Friday, July 12, 2013

ජීවිත අන්දරය - අවසන් දිගහැරුම

පහුගිය දවස්වල තිබුන වැඩ හින්දම පෝස්ට් එකක් කොටා ගන්න වෙලාවක් හොයා ගන්න බැරිඋනා. ජීවිත අන්දරේ කියවපු සෑහෙන දෙනෙක් අනිත් කොටස ගැන අහන්න උනා. අන්තිමේදි කොහොම හරි වෙලාවක් හොයගන්න පු‍ලුවන් උන ගමන්ම මේ පැත්තට ආව ඕන්.

පසුගිය කොටස්

ජීවිත අන්දරය - පළමු දිගහැරුම
ජීවිත අන්දරය - දෙවන දිගහැරුම
ජීවිත අන්දරය - තෙවන දිගහැරුම
ජීවිත අන්දරය - සිව්වන දිගහැරුම
ජීවිත අන්දරය - පස්වන දිගහැරුම
ජීවිත අන්දරය - හයවන දිගහැරුම

*********************************************************************************

පසුගිය කොටසින්

නිරන්තරයෙන් ඈ අසල ගැවසෙන්නට මම ආසා කලෙමි. ඈ අන්සතු බව සිත පිළිගන්නට සූදානම් වූයේ නැත. සිත ඈ ගැන වැඩි වැඩියෙන් සොයන්නට උනන්දු විය. මේ නිසාම ඈ සතුටින් නොවන බව සොයා ගන්නට මට වැඩි දවසක් ගත නොවීය. දුරකථනයෙන් පමණක් දැන හදුනාගෙන සිටි ඔවුන් අතර නිතර සිත් රිදුවීම් සිදුවන බව මට හැගුනේ ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තරම් මම අවස්ථාවාදියෙක් නොවෙමි. එහෙත් මම තව තවත් ඇයට ලන්වන්නට උත්සාහ ගත්තෙමි. ඇයද වෙනදාට වඩා මගේ ඇසුර ප්‍රියකරන බව දැනුනේ ය.

*********************************************************************************



කාලය සෙමින් ගලා ගියේ ය. පරිඝණකය හා පොත් අතර ඒකාකාරී සතියේ දින පහ ගෙවී ගියේ ය. විභාග හා ප්‍රයෝගික ක්‍රියාකරකම් වලට වැඩි කාලයක් වෙන් කරන්නට සිදුවිය. වසරකින් අවසන් කරන්නට අපහසු විශය නිර්දේශයක් වසරකින් අවසන්කරන්නට හබා යෑම ලේසි පහසු කටයුත්තක් නම් නොවුනේ ය. හැම වැඩක් අතරේම මොහොතින් මොහෙතට සිත පුරා ඇදී යන රුවකි. ඇතුගල්පුරට අඩිය තැබුවේ ආදරය කරන්නටනම් නොවේය. එහෙත් අද සිතද මට විරුද්දව යන හැඩකි. මේ පුංචි රුවැත්තිය මගේ මුලු සිතම හිමිකරගෙනය. ඇය අසල රුදෙන්නට සිත බල කරන්නේය. ගොඩනැගුනු මිතුදමින් ඈ හා මා අතර කෙටිපණිවිඩ නිතර හුවමාරු විය.

සිතේ රුදි ආදරය සගවා ගන්නට මම දැරූ සෑම උත්සහයක්ම අසාර්ථක වූවෙමි. තවතවත් උත්සාහ ගැනිමෙන් සිදුවන්නේ මගේ පාඩම් වැඩ පවා මග හැරී යාමකි. අවසානයේ මම තීරණයකට පැමිණියෙමි. ඒ මගේ ආදරය ඈහට පැවසීමටය. එක් දෙයක් ගැන සීතීම හිතා මතාම මම මග හැරියෙමි. ඒගැන සිතන්නට අවශ්‍ය නොවේවියැයි මා තුල ලොකු විශ්වාසයක් තිබුණි. ඒ වෙන යමක් නොව ඈ මට අකමැති වේයැයි යන්නය.

ඒ පෙබරවාරි මාසයයි. මගේ දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යැවුනි. ඒ ඈ වෙනුවෙනි. පසුදින උදෑසනින්ම අධ්‍යාපන ආයතනයේදී මා මුණගැසෙන ලෙස ඉල්ලමිනි. සිතට පුංචි සහනයක් දැනුනේ ඒ කෙටි පණිවිඩය යැවූ පසුවය. ඇතුගල්පුර පුංචි බෝඩින් කාමරයේ නිදි නැති රැයක් ගෙවී ගියේය. වෙනදාටත් කලින් සූදානම් වූ මම අධ්‍යාපන ආයතනයට පැමිණියේ සිතේ දෙගිඩියාවෙනි. සුපුරුදු පරිදි දුරකථනය ආරක්ෂිත අංශයට භාරදීමට පෙර මම තවත් කෙටි පණිවිඩයක් ඇයට යැවුවෙමි. සැනෙකින් පිළිතුරු පණිවිඩයක් ලැබුනේ ඈ ලග පැමිණෙන බව දන්වමිනි. ටික වේලාවකින් පැමිණි ඈ මා අසලට පැමිණියා ය.

*********************************************************************************

 "ඇයි වේලාසනින් එන්න කිව්වෙ"

"මට කියන්න දෙයක් තියෙනව"

"බය හිතෙන දෙයක් නෙමේ නේද? මට අද ස්පීච් එකත් තියෙනව"

නිහඩව ටික වේලාවක් ගතවිය. ඇයට එය කියන්නේ කෙසේද?

"ඔයා කැමතිනම් මම හැමදාටම ඔයාව බලා ගන්නම්"

ඇගේ දෑස් දෙකෙලවර පුංචි කදුලු කැට දෙකක් නලියන්නට විය. ඒ දුකටද සතුටට දැයි එවෙලේ මට නොවැටහුනි. ඇය ඇගේ පුංචි මුහුණ මගේ පපුවෙහි හොව ගත්තේ ඒ ආදරණීය සිත සදාකාලයටම මට හිමි කර දෙමිනි.

*********************************************************************************

ජීවිත අන්දරය මෙලෙස අවසන් කරමි. ජීවිතයනම් මෙතනින් නැවතුනේ නැත. සදාකාලයටම හිමිවූ ආදරණීය සිතැත්තිය අදටත් මා ලගය. දෙමාපියන්ගේ ආශිර්වාදය මැද ඒ ආදරය ගලා යන්නේ ය. එදා මෙදා තුර කාලයේ ඒ අදාරය දිනෙන් දින වැඩි වූවා පමණි. අවසන ජීවිත ගමනේ හිමිකාරිය මට හමුවී ඇත.

මෙතෙක් දවස් ජීවිත අන්දරය සමග සිටි ඔබ සැමට තුති පුදකරමි.