Thursday, August 1, 2013

පහන් තාරකා - 2

පළමු කොටසින්

පාරට එනවත් එක්කම ආව ස්කූල් බස් එකේ එල්ලුනේ අදුරන එකෙක් ඉන්නවද කියල බලන ගමන්. වෙනද මේ බස් එක අතඅරින්නෙ නැති අපේ උන් එකෙක්වත් අද නැහැනෙ. මොකක්ද මේ වෙනස කියල කල්පනා කරන ගමන්ම මම ඉස්කෝලෙ ගාවින් බැහැගත්ත. ගේට්ටුවෙන් ඇතුලට එද්දිම හෙඩා එතන ඉදන් නිව්ස් එක දුන්න. හෙඩා කිව්වෙ හෙඩ් ප්‍රිෆෙක්ට් හොදේ.

"ගුඩ් මොර්නින්ග් පහන් උබ අද පරක්කුයි"

"කොහෙද බං මම පරක්කු. වෙනද එන්නෙත් මේ වෙලාවටනෙ"

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අලුත් සෙට් එක එනවනෙ"

*********************************************************************************

"උබලෑ පංතියෙ සෙට් එකම අද වේලාසනින් ආව. අද දොළහ වසරට අලුත් සෙට් එක එනවනෙ"

"අඩේ අදද අලුත් සෙට් එක එන්නෙ"

හෙඩා කිව්වට පස්සෙ තමයි මට ඒකත් මතක් උනේ. ඔළුවෙ මොනාවානම් තියෙනවද දන්නෙ නැහැ. මං මටම බැන බැන පිට්ටනිය අයින දිගේ පංතිය පැත්තට ඇවිදගෙන ගියා.

"පහන් අයියෙ ගුඩ් මොර්නින්"

පොඩිඋන් ටිකක් කෑ ගහගෙන දුවගෙන ගියා. පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිසත් ඕනෑම පොදු වැඩකදි කරදීල වැඩ කරන නිසත් පාසලේ හැමෝම වගේ මාව අදුරනවා. හැමෝම හිතාගෙන හිටියෙ මම හෙඩ් ප්‍රිෆෙක්ට් වෙයි කියල. ඒත් සැහැල්ලුවෙන් ගෙවෙන ජීවිතේ ඒ වගේ වගකීමක් එක්ක හිරකරගන්න මම කැමති උනේ නැහැ. ඒ හින්දම ප්‍රිෆෙක්ට් කමක්වත් ගන්න මම කැමති උනේ නැහැ. ඒත් ක්‍රීඩාව නිසාම මුලු පාසලම මාව දැනගෙන හිටිය. ඒකත් එක අතකින් හරි කරදරයක්. කොහෙ ගිහින් මොනව කරත් පහුවදා වෙද්දි මුලු ඉස්කොලෙම ඒක දන්නව.

"පහන් පහන්"

කොහෙදෝ ඉදන් කෑ ගහගෙන ආව නිම්නත් මාත් එක්ක සෙට් උනා.

"පහනා, පට්ට කෑලි ටිකක් ඉන්නව මචං අලුත් බැජ් එකේ"

"ආයෙ ඔය සෙට් එකේ අලුත් උන් ඉන්නවද බං ගිය අවුරුද්දෙ ඕලෙවල් කරපු උන්ම තමා"

"පිස්සුද බං දැකලම නැති කෑලි ටිකක් ඉන්නව"

"උබටත් ඉතින් ගවුම් කෑල්ලක් දැක්කොත් ඉතින් ඉන්න බැහැනෙ"

"මේ තොට කෙල්ලො අරහන් උනාට මට කරන්න දෙයක් නෑ ඒකට"

නිම්නයට මල පැනල කොහොමත් ඌ හිත හොද එකා මගේ ජීවිතේ එදා ඉදන්ම ලගින් හිටපු එකෙක්. බොක්කෙ තියෙන දේවල් උනත් ඇදල දෙන ජාතියෙ එකෙක්. මං ලග ඉන්න ගොඩක් දෙනෙක් මේ වගේ. ජීවිතේ සමහර දේවල් නැති වෙද්දි තවත් සමහර දේවල් ඕනවටත් වඩා මට හම්බෙලා තියෙනව. 

මම නිම්නගේ කරට අතක් දා ගත්ත.

"හරි හරි මස්සිනා උබට ඕන කෙල්ලව පෙන්නපන් මම සෙට් කරල දෙන්නම්."

ඌ මං දිහා බැලුවෙ මං කියපු දේ විශ්වාස කරගන්න බැරුව. මට හිනා යන්න ආවත් මේ වගේ වෙලාවකට හිනව පාලනය කරගන්න හොද හැකියාවක් මට තිබුන.

"උබ සිරාවටමද ඔය කියන්නෙ"

"අනිව. මේ පහන් කවදද මල්ලි උබට බොරු කියල තියෙන්නේ ආ"

"එල මචං එල"

ඌ ඒක සිරාවටම ගත්ත වගේ. මේන් හොල් එක අයින දිගේ අපි පන්ති පැත්තට ඇවිදගෙන ගියා. තව අවුරුද්දයි ඉස්කෝලෙ යන්න තියෙන්නෙත්. ඒකත් ඒපැත්ත බලල මේ පැත්ත බලද්දි ගෙවිල යයි. ඊටපස්සෙ මොනාකරන්නද කියල හිතා ගන්නවත් බැහැ.

"පහන් ඔන්න"

අපි හිටියෙ මේන් හොල් එක කෙරවලෙන් අනිත් පැත්තට හැරෙන ගමන්. නිම්නගෙ සද්දෙට මං ඉස්සරහ බලද්දි. ක්ලචර්ස් එකක් උඩින් එනව දැක්ක. මුකුත් හිතන්නත් කලින් ඒක ඇවිල්ල කකුල් දෙක ලග වැටුන. තව ටිකක් එහා මෙහා උනානම් බඩුම තමා. මොකාද යකෝ මෙකෙන් දමල ගහපු එකා. ඇවිදින්න බැරිව මදිවට තව ගහන්නත් එනවා. හිතේ ඇතිවෙච්ච තරහ තද කරගෙන මම ඉස්සරහ බැලුවෙ කව්ද චන්ඩිය කියල දැන ගන්න. අනික ඉතින් හැංගිලා ගහන්න තරම්වත් මට තරහ කාරයෙක් නම් හිටියෙ නැහැ. 

ඉන්ටර්නෙට් ලයිබ්‍රිය ලග අපේ සෙට් එකක් කෙල්ලෙක්ව වට කරගෙන. ෂුවර් එකට රුග් එකක් වෙන්න ඕන. ඒත් මේ ක්ලචර්ස් එක. හිතට නැගිට්ට ප්‍රශ්නෙත් එක්කම ඒකත් අහුලගෙන මම අපේ සෙට් එක ලගට ගියා. ක්ලචර්ස් එකත් අරන් මම එතනට යද්දිනම් අපේ උන්ගේ මූණූ ටිකක් අප්සට් යනව වගේ මට තේරුනා. ඉන්ටර්නෙට් ලයිබ්‍රියෙ බිත්තියට හේත්තුවෙලා ඉන්න පුංචි කෙල්ල දිහා මම බැලුවා. ඒ කෙල්ලගෙ කකුල බැන්ඩේජ් කරල. ඒ කියන්නෙ මේ ක්ලචර්ස් එක.............

වෙලා තියෙන්නෙ මොකද්ද කියල මොහොතකින් තේරුම් ගන්න මට පුලුවන් උනා. මම අපේ උන් දිහා බැලුවෙ ඇත්තටම තරහින්. මොනව උනත් මේ කෙල්ල ඇවිදින්නත් අමාරුවෙන් ඉන්නෙ නේද කියලවත් හිතන්න එපැයි. අපේ උන් එකා දෙන්න ෂෙප් වෙලා යනව උන්ටත් තේරෙන්න ඇති මට තරහ ගිහින් කියල. මට ලේසියෙන් තරහ යන්නෙනම් නැහැ. හැබැයි ආසාදරනේ, වැරුද්ද පෙන්නන්න බැහැ. ඒ වෙලාවට ඉතින් අම්මද අප්පද කියල නැහැ. උන්ටික මාරු උනාට හිතේ තරහනම් අඩු උනේ නැහැ.

"ඇවිදින්නත් බැරිනම් මොන මගුලටද පන්තියට වෙලා ඉන්නෙ නැතුව එලියට ආවෙ. අලුතෙන්ම ආවනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න තේරෙන්නෙ නැද්ද?"

මම මගේ තරහ ඒ කෙල්ලගෙ පිටින්ම දිග ඇරල දැම්ම. අඩන්න ලංවෙලා තිබුනු ඇස් දෙකෙන් සට සට ගාල කදුළු කැට කඩන් වැටෙන්න ගත්ත. ඉතින් තියා ගත්ත අඩන්න. අම්මපා මේ කෙල්ලන්ට අඩනව ඇරෙන්න වෙන දෙයක් කරන්නම බැරිද හැබෑට. මේ ඇඩිල්ලනම් මට පෙන්නන්නම් බෑ. මම කෙල්ලන්ට අකමැති වෙන්න මේකත් එක හේතුවක්.

"පහන් පහන්"

නිම්නට අයෙත් කෑ ගහනවා.

"මොකද බං"

මම නිම්නය බලන් ඉන්න දිහා බැලුව. ආ මෙයත් මෙහෙ. මගෙ නෑන පොඩ්ඩ. මාමගෙ පොඩි දොණියැන්ද.

"පහන් අයියෙ ඇයි මේ"

"අපේ උන්ගෙ වැඩ තමා තාරා. මේ කෙල්ලට ඇවිදගන්නත් බෑ අපේ උන් රුග් කරන්න හදනවා. මෙයටත් ආව අලුත පන්තියට වෙලා ඉන්නෙ නැතුව ඇවිදින්න යනව"

"මේ කව්ද මේ"

ඈ ඇත්තටම කව්ද මේ ගෑණු දරුව.

7 comments:

  1. Replies
    1. ආදරයෙන් පිළිගන්නව දේශකයාව මේ පැත්තට.

      බලමු බලමු කව්ද කියල.

      Delete
    2. මටනම් හිතාගන්න පුළුවන් මෙයාගෙ නම මොකද්ද කියල. කතාවෙ නමෙන්ම හිතා ගත්තෑකි.

      Delete
    3. පිස්සුද මලය. ඔය ළමයට ඒ නම දාන්නෙ නෑ. මගේ හිතේ පොඩි අදහසක් තියෙනව ඒකට තමා මේ ලියගෙන යන්නෙ. ඔය කතාවෙ නමේ තියෙන අනිත් නම දැනටමත් මම පාවිච්චි කරල තියෙනව කෙටි කරල. තාර කියල කියල තියෙන්නෙ ඒ නම තමයි.

      Delete
    4. මලා එහෙමත් කේෂ් එකක්ද අෆ්ෆා. හරි හරි එහෙනම් 3වෙනි කොටස ඉක්මනට ලියනවකෝ හලෝ.

      Delete
  2. පහන් සහ නිම්න......පහන නිමන් නැතුව දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අනිව පහන දිගටම පත්තු කරල තියාගන්නව මචෝ.

      අද තමා මේ පැත්තෙ දැක්කෙ. ආදරයෙන් පිළිගන්නව සිතැගියාවට.

      Delete