Friday, June 28, 2013

හෑ... මාසයක් ගිහිල්ල බොලව්



ගිය මාසෙ මුල් කාලයේ ලැබුන විවේකයත් එක්ක සයිබරේ තිබුනු බෝහෝමයක් බ්ලොග් අස්සෙ කරක් ගහද්දි මටත් බ්ලොගක් ලියන්න හිතුන වෙලේ අවුරුදු ගානකට කලින් ලියන්න කියල හදපු බ්ලොගක් තිබුනේ ය. ඒ බ්ලොගය ලියන්නට ගත් තැනම ලොප් වී තිබුනේ ලොකු ශානාගේ බෝහෝ වැඩ මෙන්ම ය. ඒ කෙසේ වෙතත් දෙවන වරට ඒ බ්ලොගයම ලියන්නට ඇරබුවේ එයත් ලත් තැනම ලොප් වන වැඩක් කරන්නට නොවේ ය. උදව්වට පොඩි ශානාවද(ලොකු ශානාගේ මලයා) එකතු කරගත්තේ කෙසේ හෝ බ්ලොගය දිගටම ඇදගෙන යාමට තිබූ අවශ්‍යතාවය නිසාමය.

පොඩි ශානාද ලොකු ශානා මෙන්ම කොම්පීතර උණ කාරයෙකි. ඒ නිසාම බ්ලොග ලියමුයැයි කීවිගසම එක්වරම කැමති උනේ ය. එසේ ලියන්නට ගත් බ්ලොගය "සිතැගියාව" යි. අතීත මතක සටහන් සමගින් පෝස්ටු කිහිපයක් ලියමින් ලොකු ශානා බ්ලොගය ඇදගෙන යද්දී අනිත් පසින් පොඩි ශානා ද මතක සටහන් දිග හරින්නට විය. දෙදෙනාගේම හිතට දැනුන වල්පල් වලින්ද පෝස්ටු කිහිපයක් පෝෂණය උනේ ය. බ්ලොගය ලියන්නට ගෙන දින තුනක් තුල පෝස්ටු හතක් ලියවී තිබුනේ නොසිතූ ලෙසය. 

ලියාගෙන යන විලාසය වෙනස් කරමින් ජීවිත අන්දරයෙන් ලොකු ශානාගේ ආදර කතාව දිගහරින්නට ගත්තේ ඉන් පසුවයි. නොසිතූ ලෙසට බ්ලොගයේ වැඩි පිරිසක් අතර ජීවිත අන්දරය ජනප්‍රිය වන්නට වූවේ ය. අතරමග නතර කරන්නට සිතූ ජීවිත අන්දරය කොටස් හයකුත් ලියමින් තවමත් බ්ලොගයේ හොදම පෝස්ටු අතර තිබෙන්නේ ය. බ්ලොගය ලියන්න ගත් දිනම වාගේ අසේල මලයා ෆලෝ පාරකුත් දැම්මේ දිගටම බ්ලොගය කියවන බව කියමින්ම ය. ලොකු ශානාගේ හා පොඩි ශානාගේ මිතුරු මිතුරියන් එකා දෙන්නා බ්ලොගය කියවන්නට ගත්තේ ය.

බ්ලොගයට හිට් කවුන්ටරයක් දාමා ගත්තේ කවුට්ටරයේ අගය එකින් එක වැඩිවන විට හිතට දැනෙන ගට නිසාමය. පළමු පොස්ටු හයටම කමෙන්ටුවක්වත් නොමැති වෙද්දීනම් හිතේ තිබූ ගට ටිකක් අඩුවූ බවනම් නොකියාම බැරිය. දැන් දැන්නම් පෝස්ටුවකට කමෙන්ටු දෙක තුනක් වැටන්නේ හිතේ ගට තව තවත් වැඩිකරමිනි. බ්ලොගට මසක් සපිරෙද්දී බ්ලොගය වටා සිටින කිහිපදෙනෙකු මතක් කලේ නැතිනම් ලොකු ශානා අත්මාර්තකාමියෙකි. නිතරම බ්ලොග කියවමින් ලියන්නට තව තවත් උනන්දු කරවන ආදරණීය සිතැත්තියව ද  ලොකු ශානා බ්ලොග ලියනවායැයි කියූ විට බ්ලොග සොයාගෙන කියවා නිතර උපදෙස් දෙන තරුරසී ලියන තරු අක්කාව ද මතක් කරන්නේ ආදරයෙනි. තරු අක්කාව ලොකු ශානා දන්නේ අවුරුදු දොලහක, දහතුනක කාලයක සිටය. නමුත් බ්ලොග් ලියනා බව දන්නේ ඊයේ පෙරේදාය. සෑමා, රන්දිල්, අටං, රවී, දිනේශ්, චමී නමින් දන්නා බ්ලොගයට යන එන බ්ලොග් ලියන්නන් ය. බ්ලොගයට යන එන තවත් බ්ලොග් ලියන්නන් ඇත්නම් සමාව භාජනය කරන්නේ ය. 

සිතැගියාවට මසක් සපිරෙන මේ මොහොතේ සිතැගියාවත් සමග අත්වැල් බැදගෙන ඉන්නා සියලුදෙනාවම ආදරයෙන් මතක් කරන අතරම ලොකු ශානා ගේ හා පොඩි ශානාගේ හද පතුලෙන්ම නැගී එන ස්තූතිය පුදකර සිටින්නෙමු.

Tuesday, June 25, 2013

ජීවිත අන්දරය - හයවන දිගහැරුම

ජීවිත අන්දරය පසුගිය කොටසින්

විද්‍යාගාරයේ දොර විවෘත වූයේ ය. මම අලස බැල්මක් ඒ දෙසට යොමු කලේ මෙතරම් ඉක්මනින් උපදේශකවරයකු කිසිසේත්ම පැමිණිය නොහැකි බව දන්නා නිසාමය. මගේ සිත ගැස්සීගියේ නොසිතූ විලසය. කිසිම දිනක මගේ සිතේ එවන් ගැස්මක් ඇතිවී නොමැති බව ඉදුරාම කිව හැක. ඒ රුව සිත පුරා ඇදී ගියේ නිමේශයකිනි.

*********************************************************************************
පසුගිය කොටස්

*********************************************************************************


විද්‍යාගාරයේ දොර හැරි ඈ විද්‍යාගාරය පුරා බැල්මක් හෙලුවේ සිතේ දෙගිඩියාවෙන් මෙනි. මොහොතක් බලා සිටි ඈ සෙමින් විද්‍යාගාරයට ඇතුළු වූවා ය. අඩි හතරහමාරක් පහක් පමණ උස, කලු දිග සායකින් හා සුදු බ්ලව්සයකින් සැරසී සිටි ඈ, ඉන දක්වා දිගු කොණ්ඩය තනි කරලට ගොතා පිට දිගේ වැටෙන්නට හැර තිබුනා ය. විද්‍යාගාරය සිසාර තවත් බැල්මක් හෙලූ ඈ යුවතියන් සමගින් එක් වූවා ය. මම නැවතත් පොතට සිත යොමු කලෙමි. කවදාවත් නොවූ ලෙස මගේ සිත අද මට අවනත නැත. නැවත වරක් ඈ දෙස බලන්නට සිත බලකරමින් සිටී. මම සිතට තරවටු කලෙමි. නැත එහෙත් අද සිත අවනත නැත. සිතත් සමග තරගයෙන් මම පැරදුනෙමි. ආපසු හැරී බැලූ මම ඈ මිතුරියන් සමග කතා කරමින් සිටිනු දුටුවෙමි. මුළු දිනය පුරාම මම සිටියේ නොසන්සුන් සිතිනි. සවස බෝඩිමට පැමිණියද මගේ සිත පුරා සැරිසැරුවේ මේ යුවතියයි.

දවසතුල ඉගැන්වූ කිසිවක් මගේ මතකයේ නොමැත. හිත පුරාම එක් රුවක් ඇදී තිබුනි. වසර තුනක් පමණ ආදරය කල යුවතියට පවා මගේ සිත මෙතරම් සෙලවීමට නොහැකි විය. එයිනුත් අවුරුදු ගනනකට පසු අද මගේ සිතේ වසා තිබූ සියළු දොරටු හැර දමමින් ඇය මුළු සිත පුරාම අරක් ගෙන සිටී. පාඩම් කරන්නට පොත අතට ගත්තද පොත අතරින්ද ඒ සිහින් දෑස් පෙනෙයි. සියල්ල පසෙකදා මම ඇදට වැටුනෙමි. නිදන්නට තැන් කලද නින්ද අහලකවත් නොමැත.  ඒ පුංචි දෑස් මගේ නින්දද සොරාගෙන ඇත.

කාලය දින සති වලට පෙරලී වේගයෙන් ගලා ගියේය. මම නිරන්තරයෙන් ඈ පිළිබද විමසිලිමත් වන්නට වූයේ මටත් නොදැනීමය. පාඨමාලවේ වැඩත් සමග වැඩි වැඩියෙන් පොත පතට කාලය වැය කලද සිතින් ඈ නික්ම ගියේ නැත. කිසිවෙකුටත් නොදැනී නාමලේඛනයෙන් ඇගේ නම උපන්දිනය ආදිය සොයාගන්නට මම සමත් වීමි. පාඨමාලාව හදාරන මිතුරෙකු මාත් සමග මගේ බෝඩින් කාමරයේම නවතින්නටද පැමිණියේ ද මේ කාලයේ ය. එමෙන්ම මගේ මිතුරියගේ මිතුරියද නිතර මාත් සමග දුරකථනයෙන් කතා කරන්නේ ය. එහෙත් එය මිතුදමට එහා ගිය බැදීමකට පෙරළුනේනම් නැත. ඇගයීම් පරීක්ෂණ, ව්‍යාපෘති, ප්‍රායෝගික පරීක්ෂණ අතර ජීවිත හෙමිහිට ගාල ගියේ ය.

මිතුදම් වර්ධනය වූයේ ය. සියල්ල එකා මෙන් වැඩ කරන්නට වෙහෙසුනේ ය. අධ්‍යාපනික තරගයේ දිනුම වෙනුවෙන් හොර රහසේ මෙන් තරගයක්ද නොතිබුනා නොවේ. උඩින් නොපෙන්උවද එකිනෙකා නොරුස්සන්නන්ද අප අතර විය. එහෙත් එකිනෙකාගේ පුද්ගලික දේවල් පිළිබද කතා කරන්නට තරම්ම මිතුදම් වර්ධනය වී තුබුනි. මගේ සිතට දැනෙන කතා බහක් දිනක පංතිකාමරය තුල සිදුවිය. ඒ ඉංග්‍රීසි කලච්චේදයකය. සුපුරුදු පරිදි දහවල් විවේයෙන් පසු තිබූ බැවින් අදාල ගුරුබවතා සුපුරුදුලෙසම ප්‍රමාදය. පරිඝණක විශයෙන් මොහොතකට මිදෙන අපි විවිධ මාර්තුකා ඔස්සේ කතා කරන්නේ මේ වේලාවේදී ය.

*********************************************************************************
විවිධ කතා අතරේ එදා මාර්තුකාව වූයේ ආදරයයි. එකිනෙකාගේ ආදර සම්බන්දතා පිළිබද කතාව ඇදී යන්නට විය. ලොකුවට කියන්නට දෙයක් නොවූ මම මගේ නොදුටු මිතුරිය ගැන කීවේ ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් සිතා ගන්නට හැකිවල ලෙසය. මගේ කතාව ඇහුම්කම්දෙමින් සිටි ඈ....

"හරියට මගේ කතාව වගේ"

මම ඈ දෙස බැලුවේ පුදුමයෙනි.

"ඒ කිව්වෙ"

"මමත් ඔයා වගේ තමා. ෆෝන් එකෙන් කතා කලාට තවම එයාව දැකල නැහැ"

සිත රිදුනි. එහෙත් ඒ බව නොපෙන්වා සිටින්නට මම සමත් විය.

"ඉතින් ඔයාට එයාව බලන්න යන්න හිතුන්නැද්ද ශාන්"

"යන්නනම් ඕන. ඒත් ඉතින් වෙලාවක් නැහැනෙ. වීක් එන්ඩ්ස්වල ක්ලාස් කරනවනෙ"

*********************************************************************************
මෙතෙක් නොදුටු මිතුරිය දකින්නට හිතේ තිබූ ආසාව මේ කතා බහෙන් තවත් වැඩිවිය. දින කිහපයකින් ඈ හමුවන්නට මම දෙහිවලට ගියෙමි. දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිටදී අපි මුණ ගැසුනෙමු. ඇයද අඩි පහකට ආසන්න උසකින් යුත් පුංචි යුවතියකි. පැයකට ආසන්න කාලයක් අපි කතා බහේ යෙදී සිටියේ එක එක වල්පල් ගැනය. අවසාන ඇගෙන් සමුගත්තේ මිතුදම් තවත් ශක්තිමත් කරගනිමිනි. ඒ මම ඈ මුණගැසුන අවසන් දිනයයි. ඈ මුණ ගැසී ආපසු එන අතර මම ඇයට දුරකථනයෙන් කතා කලෙමි.

"ආ යාළු, මං හිතුවෙ මව දැක්කට පස්සෙ ආයෙ කතා කරන එකක් නැහැ කියල"

"ඇයි මං කතා නොකර ඉන්නෙ. මං වෙනද වගේම ඔයා එක්ක කතා කරනව"

"හරි හරි යාළු"

අදටත් ඇය හොද මිතුරියක් ලෙස මාත් සමග මිතුදමින් බැදී සිටී.

*********************************************************************************
කාලය ගෙවී ගියේ වේගයෙනි. පාඩම් පොත් අතරට සිත වැඩි වැඩියෙන් යොමුවිය. බෝඩිමේ මාත් සමග සිටි මිතුරා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග වෙනත් බෝඩිමකට ගියේය. ඇතුගල්පුර පුංචි බෝඩිමේ නැවතත් මම තනිවීමි. එහෙත් ඒ තනිකමේ සුන්දරත්වයට මම ආසා කලෙමි, ආදරය කලෙමි. පංතියේ පුංචි යුවතියද මගේ සිතේ නිතර සැරිසැරුවා ය. එහෙත් ඇය වෙනකෙකුගේ පෙම්වතියයි. ඒ ආදරයට අකුල් හෙලන්නට අවශ්‍යතාවයක් මට නොමැත. මම වැඩි වැඩියෙන් පොත පතටම කාලය වෙන් කරන්නට වීමි. පන්තියේ පළමු දෙතුන් දෙනා අතර කරට කර සටනක් දෙන්නට ඒ නිසාම මට හැකිවුනි.

ආයතනයේ වෙනත් පාඨමාලාවක් හදාරන සිසුසිසුවියන් සංවිධානය කල විනෝද චාරිකාවට අපටද ආරාධනා ලැබුනි. දයාබර මිතුදම් තවතවත් ශක්තිමත් කරන්නට ඒ චාරිකාව ඉවහල් වූ බව සියළුදෙනාටම නොරහසකි. මගේ සිත හොරා ගත් ඒ පුංචි රුවැත්තිය හා මා තව තවත් මිතුදමින් ලංකරන්නටද එය ඉවහල්විය. කාත් සමගත් සුහදව සිනහවෙන් පිරුනු මුවින් සිටි ඈ මගේ හිතේ තවතවත් පැලපදියම් විය. මම ඈතින් හිද ඈ දෙස බලා සිටියෙමි. සොදුරු සිතකට උරුමකම් කී ඈ මගේම වූවානම් යැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. සිතේ වසා දමා තිබූ සමහර දොරටු ඈ වෙනුවෙන් විවෘත වී තිබුනි.

නිරන්තරයෙන් ඈ අසල ගැවසෙන්නට මම ආස කලෙමි. ඈ අන්සතු බව සිත පිළිගන්නට සූදානම් වූයේ නැත. සිත ඈ ගැන වැඩි වැඩියෙන් සොයන්නට උනන්දුවිය. මේ නිසාම ඈ සතුටින් නොවන බව සොයා ගන්නට මට වැඩි දවසක් නොගියේ ය. දුරකථනයෙන් පමණක් දැන හදුනාගෙන සිටි ඔවුන් අතර නිතර සිත් රිදුවීම් සිදුවන බව මට දැනුනේ ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තරම් මම අවස්ථාවාදියෙක් නොවෙමි. එහෙත් මම තව තවත් ඇයට ලන්වන්නට උත්සාහ ගත්තේමි. ඇයද වෙනදාට වඩා මගේ ඇසුර ප්‍රියකරන බව දැනුනේ ය.

ඇයද මට ආදරය කරන්නේ ද?
ඈට මාගේ අදහස තේරුම්ගොස් තිබුනිද?
සියල්ල කාලයට බාර දිය යුතුබව මට හැගී ගියේය.

*********************************************************************************
ලොකු ශානා ලියයි

ප.ලි - මගේ දුරකථන මිතුරියගේ මව මේ පෝස්ටුව ලියන මොහොතට සතියකට පමණ පෙර මෙලොව හැර ගොස් තිබුනි. ඇය පිලිකා රොගයෙකින් කාලයක සිට පිඩා වින්දාය. ජීවිතය අස්තීරය අප හැමට කවදාහෝ මෙලොව හැර යන්නට සිදුවන්නේය. මේ ආරංචිය මම ආදරණීය සිතැත්තියට පැවසූ විට ඇය බෙහෙවින් කම්පාවට පත්විය. මගේ මිතුරියට දුරකථනයෙන් කතා කරන්නයැයි ඇය කියසිටියාය. ඈ ලගපාතක වූවානම් අපට අවසන් කටයුතු සදහා සහභාගී විමට තිබුනා නේදැයිද පැවසීය. එයට අවස්ථාවක් නොමැතිවීම ගැන ඈ කණගාටු වූව ය. එහෙත් අද මේ පෝස්ටුව ලියන මොහොතවනතුරුද මිතුරිය දුරකථනයෙන් සම්බන්ද කරගැනීමට මට නොහැකි විය. එය එසේ වෙද්දී ආදරණීය සිතැත්තිය මා පිළිබද තබා ඇති විශ්වාසය කොතරම්දැයි මට වැටහුනි. වෙනත් යුවතියක්නම් මේ මොහොතේ අවසන් කටයුතු වලට සහභාගීවීම තබා දුරකථනයෙන් කතා කිරීමටවත් නොදෙන්නේ ය. 

Saturday, June 22, 2013

දනුකයාගේ කඩුලු පැනීම


කඩුලු පැනීම යනු ඉතා පුරසිද්ද කිරීඩාවකි. අපේ ඉස්කෝලේ සැට් එකකුත් ටික කාලයක් කඩුලු පැන්නා මට මතකය. අපිත් ඒ කාලේ කඩුලු පැන්නේය. ඒ කිරිකොට් ගසද්දී බෝලේ එහා පැත්තේ මිනී පිට්ටනියට ගිය විටය. ඒ අවස්තාවේ අපිටද කඩුලු පනින්නට සිදු උන අතර සමහර උන් කඩුල්ලෙන් රින්ගාගෙන ගියේය. මේ දනුකයාගේ කඩුලු පැනීම අර පෙර කී කිරීඩාවනම් නොවේ. මු කම්බි පොටවල් 7ක් පමන ඇති මහා පරිමාන වැටකට උඩින් පැන්න හැටිය. පොර වැඩිය බොරු කියන්නේ නැත. එහෙන් මෙහෙන් කෑලි දෙක තුනක් වැඩි කර කිවුවත් ඇත්තම කියන බව මම දනිමි. පොර සුපිරි යූ.ඇන්.පී. කාරයෙකි. අපිටනම් කෝකත් එකය. මූ ආණ්ඩුවේ උන් එක්ක බර වලි දාගන්නා බව අපේ සැට් එක හොදින්ම දනී. දිනක් අපේ කොල්ලන් සැට් එකක් සමග මමද අපේ එකෙකුගේ ගෙදරක තිබූ බන ගෙදරක ගියේය. දනුකයාත් එහි ඇවිත් තිබුනේය. අපි බන අහන උන්නම් නොවේ. එනිසා පැත්තකින් පුටු ටිකක් වට කරගෙන කයියකට සෙට් උනේය. වැඩියෙන් කතා කරන්නේ දනුකයාය. අපි සියල්ලෝම අසා සිටින්නෝ වෙති. 


දනුකයා:- අඩේ උඹට මතකද මම වත්තේ වැටෙන් පැන්න හැටි.
රජා:- මතකයි මතකයි. ජෙට් එන්ජින් දාපු හැටි.
මම:-අඩේ මොකද්ද බන් ඒ සීන් එක. උඹ හොල්මනකටවත් බය උනාද?

දනුකයා:- නෑ බන් මේකයි සීන් එක. දවසක් මමයි අපේ බාප්පයි වෙලේ ඉදල බයික් එකේ එනකොට සෙට් එකක් මග ඉදන් ලොකු ටෝක් එකක් දැම්මා. දන්නවනේ ඉතින් මට ඔය ***වල් අල්ලන්නෙ නෑනේ. බාප්පටත් මල. මමත් ඇවිල්ල තුවක්කුවට උන්ඩෙකුත් දාගෙන එකත් කරේ තියාගෙන පාර ගාවට වෙලා අපේ සෙට් එකත් එක්ක හිටියා මුන් එනකන්. එකෙක් එන්නෙ නෑ එතනින් එහාට යන්න. ආවනන් ඒ වෙලාවෙ ඔලුව කුඩු වෙන්ඩ තියනවා ආයේ දෙකක් නෑ.

රජා:- ඇයි යකෝ උන් ගාවත් තුවක්කු තිබ්බනේ. තිබ්බනම් තොටත් බඩු හරි තමා.

දනුකයා:- ඔව් ඉතින් උන් ආපු නැති එකත් වෙලාව. කොහොම හරි බන් මම බාප්පලව එතන තියල බයිසිකලේ අරන් ආව හන්දිය පැත්තට. මගේ ඉස්සරහට ආපු ත්‍රීවීල් එකක් හැරෙව්වා බන් මෙන්න මෙහෙම ගත්තෙ බන් රෝද දෙකෙන්. මමත් බයිසිකලේ ඉදන් බලන් ඉන්නවා. අම්මට සිරි අර ත්‍රීවිල් එකෙන් බැස්ස බන් කෙලින්ම 300ක් විතර. කඩුද පොලුද අරවද මේවද මොනාද මන්ද අරගෙන. මමත් බයිසිකලේ වීසි කරල දාල හැරිච්ච පාරට පිටිපස්සෙ තිබ්බ වැටෙන් පැන්න බන් තප්පර පහක් යද්දි මම මිසින්. වීල් එකෙන් බැස්ස සෙට් එක බලනවා කෝ යකෝ මෙතන හිටිය එකා කියල. මම එතකොට වැටෙන් පැනල එහා පැත්තට දුවල ඉවරයි බන්. මුන් ටික ලග තිබ්බ ගෙදර වටේ කැරකි කැරකි මාව හොයනව. හොයල හොයල හොයාගන්න බැරි තැන උන්ටික ගිහිල්ල. ඇයි යකෝ කවුද හිතන්නෙ අර වැටෙන් මම පැනල ඇති කියල. ගෙදර ගිහිනුත් කල්පනා කරේ කොහොමද ඒකෙන් පැන්නෙ කියල. ඇයි බන් ඒකෙ කම්බි පොටවල් 7ක් විතර තියනවනෙ බන්. මම මෙහෙම කකුල තිබ්බ පැන්න තමා ජෙට් එක දැම්ම වගේ එහා පැත්තෙ.

මම:- ඇයි බන් උඹට ඊට පස්සෙ එලි පහලියට බැහැල යහතින් යන්ඩ පුලුවන් උනාද?

දනුකයා:- බම්බුව තමා බන් ටික දවසක් ගෙඩ වෙලා හැන්ගිලා හිටිය. දැන්නන් උන් ටික යද්දි හිනා වේගන යනවා. මමත් ඉතින් යූ.ඇන්.පී. ආණ්ඩුවක් එනකන් ඉදපල්ලකෝ කියල බොක්කෙන් හිතාගෙන කටින් හිනා වෙලා යනවා.

Thursday, June 20, 2013

ජීවිත අන්දරය - පස්වන දිගහැරුම

*********************************************************************************

*********************************************************************************



         ඇදට ගියද නින්දක් නම් නොවීය. අද නිදි දෙව්දුවද මාත් සමග අමනාප වී ඇති හැඩකි. ජංගම දුරකථනයේ රේඩියෝව දමා ගතතේ නින්ද අහලකවත් නොවූ නිසාය.

සද සේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුණු තැන්වල මල් සුපිපේවී
හමුවෙන වෙන අය ගැන හිතලා

වළාකුලකි ඔබ මලා නිකව ගිය හිස් අහසේ සරනා
දරා ගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූ දා
ඔබ අන්සතු වූ දා

          ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි. ඒ දුක මා හොදටම අත් වින්දේය. ඇය ජීවිතයෙන් සමුගෙන වසරකටත් වඩා ගතවී ඇත. එදවස පුංචි උන්සමග වැඩ කල මා රුකියා කටයුතුත් සමග එයින්ද ඈත් වී සිටියේය. ජීවිතයේ තිබූ ආදරය නැති වෙද්දී සියල්ලන් මෙන්ම මාද ඇද වැටුනි. කොල්ලෙකු වූ නිසා ලොවට හොරෙන් හැඩුවේය. කෑ ගසා හඩන්නට උවමනා උවද සිතින් හැඩුවේය. ජීවිතය එපාම වී ගියේය. පිස්සෙකු මෙන් ඔළුව හැරුන හැරුන අත ගමන් කලේය. ප්‍රශ්න අමතක කරන්නට බොන උන්ට සිනාසුන මා උන්ගේ ගොඩටම වැටුනේය. සිදුවූ සෙතක්නම් නැත. එහෙත් දිගින් දිගටම එතනම එල්ලී සිටියේ අල්ලා ගන්නට අත්තක් නොතිබුන නිසාම නොව අත්තක් නොපෙනුන නිසාය. 

          දින සති වලට පෙරලෙමින් කාලය වේගයෙන් ඉගිලුනේ ය. අහිමිවූ ආදරය යලි හමුවන්නේ නැත. ඒ බව පසක් වන විට මාස ගනනාවක්ම ගත වී තිබුනි. වැටී තිබූ ජීවිතය යලි අහුලාගත්තේ තනිකමේ සුන්දරත්වයද සමගිනි. ඒ සුන්දරත්වය හිත ටික ටික නිවා දැමුවේය. ජීවිතයේ සිටි දායබර මිතුරු මිතුරියන් සුපුරුදු සුහදත්වයෙන් ලගම සිටියේය. ජීවිතය ටික ටික වෙනස් විය. අරමුණක් ඇති විය. සෙමින් සෙමින් ගමන් කරන්නට ගත්තේය. සියල්ල අමතක කරමින් පොත පතට හිත යොමු කරේය. ගණිතය, තොරතුරු තාක්ෂණ අංශ වලින් පෞද්ගලික පංති කිහිපයක් කරමින් ආර්ථික තත්වයද යම් තාක් දුරට සාදා ගත්තේය. 

          වෙනසක් නොවුනු ජීවිතය සෙමින් ගලාගෙන යන්නට විය. නිතර කතා කරන පාසල් මිතුරියකගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුනේ ඔය කාලයේය.

   "හෙලෝ"

   "හෙලෝ, හෙලෝ කොහොමද බං ඉතින්."

   "හොදින ඉන්නව බං. මොකෝ කරන්නෙ මේ දවස්වල?"

   "ක්ලාස් ටිකක් කරගෙන පාඩුවෙ ඉන්නව බං. උබ කොහෙද තාම දෙහිවලද"

   "ඔව් බං තාම මෙහෙ. මේ ටිකේ පාඩම් කරනව බං තව මාස දෙකකින් එක්සෑම්"

   "අහ්, පාඩම් කරපං එහෙනම්"

   "පාඩම් කරන්නත් ඕන. හරි කම්මැලී බං"

   "අනේ උබෙයි මගෙයි පාඩම් කිරිල්ල. බොඩිමේ හතර දෙනෙක් ඉන්නව නේද? කට්ටිය සෙට් වෙලා පාඩම් කරපල්ලකො"

   "එහෙම තමා බං පාඩම් කරන්නෙ. මේ ඒක නෙමේ උබ තාමත් අරක හිතේ තියාගෙනද ඉන්නෙ"

   "අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බං ඒක. මොකෝ එක පාරටම ඇහුවේ ඒ ගැන"

   "මගෙ යාළුවෙක් ඉන්නව. තාම කාත් එක්කවත් මුකුත් නෑ. උබට හොදට ගැලපෙනව. අනික බං උබත් දැන් ඔය පරණ දේවල් අමතක කරපන්. අවුරුද්දකටත් වැඩීනෙ දැන්"

   "උබ මාව ආයෙත් සැරයක් අමාරුවෙ දාන් නැතුව උබේ වැඩක් බලාගන්නවද"

   "හරි, හරි මං කියනවට ටිකක් කතා කරල බලපන්කො. නිකන් යාළුවෙක් විදිහට. මං උබ ගැනත් ටිකක් කියල තියෙන්නෙ"

   "මේ තිවා පිස්සු නටන්නැතුව ඉන්නවද උබ"

          මගේ ප්‍රතික්ෂේපය ගණනකටවත් නොගත් ඇය. ඇගේ මිතුරියට දුරකථනය දුන්නේය. ගිනිපෙනෙල්ලෙන් බැටකෑ මිනිහා කාණා මැදිරි එළියටත් බයය. අනෙක දැන දැන අමාරුවේ වැටෙන්නට නොහැක. ජීවිතය යන්තමින් ගැටගසාගෙන ආව පමණි. 

   "හෙලෝ"

          මේ ඇගේ මිතුරිය විය යුතුය. ඇය හා කතා කරනවාද නැද්ද යන තීරණය ගැනීමට නොහැකිව මං නිහඩව සිටී.

   "හෙලෝ"

   "මේ හලෝ ඔයගෙ යාළුව ගොළුද? හි හි හි..."

              ඇය අසන්නේ මගේ මිතුරිගෙනි. ඇගේ දගකාර කතාවට මගේ මුවටද සිනහවක් නැගුනි. කෙල්ලන් එකට එක් වූ විට කොල්ලන්ට හපන්ය. 

   "හෙලෝ"

   "ආ... මං හිතුව ඔයා ගොළුයි කියල කතා නොකර ඉන්නකොට. හි හි හි..."

   "අපෝ නෑ හොදට කතා කරන්න පුළුවන්. හැබැයි මං අනිත් අයට වඩා ටිකක් නිශ්ෂබ්දයි"

   "හි හි හි... මං විහිළුවට කිව්වෙ හලෝ"

          දුරකථන සන්වාදය තවත් ටික වේලාවක් ඇදී ගියේ නම, ගම ආදී පුද්ගලික විස්තර හුවමාරු කර ගනිමිනි. ටික වේලාවකින් මගේ මිතුරිය දුරකථනයට පැමිණියේය.

   "හෙලෝ ශා.."

   "හෙලෝ, මේ උබ අර කෙල්ලට මුකුත් කියන්න යන්න එපා. මගෙ ලොකු බලාපොරොත්තු නෑ කියල උබ දන්නවනෙ"

   "හරි බං. දෙයක් වෙන්න තියෙනවනම් වෙයි."

   "හ්ම්... එහෙනම් මං තියනව මචං. බුදුසරණයි"

   "බුදුසරණයි"

************************************************************************

          කාලය සෙමින් ඇදී ගියේ ය. මගේ මිතුරිය හා කාතාකරන සෑම මොහොතකම පාහේ ඇගේ මිතුරියද දුරකථනයට පැමිණියේ ය. අප දෙදෙනාගේ මිතුදම වර්දනය වන්නට වූයේ දෙදෙනාටම නොදැනීය. දෙදෙනාගේ දුරකථන අංක හුවමාරුකරගත් පසු මගේ මිතුරියගේ දුරකථනයෙන් ඇය හා කතා කිරීමට අවශ්‍ය නොවිනි. නිවෙස් වලින් ඇයත් මාත් ලංකාවේ දෙකොනකය. එහෙත් මිතු දමට ඒවා බාදවන් නොවන්නේය. පවුලේ වැඩිමහල් දියණිය ලෙසින් ජීවිතයේ දුක දුකක් යැයි නොසිතා ඇය ඇදගෙන යන බව මට වැටහුනි. බලාපොරොත්තු ඇතිකර ආදරයක් ගැන කතාකරන්නට නොව දයාබර මිතුරෙකු ලෙස ඇය ලග ඉන්නට මං උත්සාහ ගත්තේය. 

          ආදරයක් බලෙන් ඇති කල නොහැක. ඒ බව මම හොදින් වටහාගෙන තිබේ. මගේ මිතුරිය සමග එක්ව උසස් ඩිප්ලෝමා පාඨමාලවක් හදාරමින් සිටි ඇයද විභාගය සදහා සුදානම් වෙමින් සිටියේය. නිතර නිතර දුරකථනයෙන් කතා කරමින් එකිනෙකාගේ සුවදුක් විමසමින් කාලය ගෙවී ගියේය. දුරකථනයෙන් කතා කරන සැම විටම ඇයව උනන්දු කරමින් පොත පතට ඇයව යොමුකිරීමටද මම උත්සාහ ගත්තේය. ඇය විටෙක නෝක්කාඩු කියමින් එය විවේචනය කරේ කතා කරන හැම විටම පාඩම් කිරීමට කියන්නේයැයි කියමිනි. 

          ආදරයක් ගැන බලාපොරොත්තු නැතිවද වරක් දෙවරක් මම ඇගේ ඒ පිළිබද කැමැත්තක් ඇද්දැයි විමසා බැලුවේ කතා කල ටික කාලයට ජීවිතට බද්දකරගන්නට තරම් හොද ගතිගුණ ඈ තුල ඇති බව දැනුන නිසාය. ඒ ගැන විමසන හැම විටම විහිළුවකින් එය මග හැර යන්නට ඇය සමත්උනේ විටක "ඔයා මාව දැක්කනම් මට කවාදාවත් කැමති වෙන්නෑ" යැයි කියමිනි. කෙසේවෙතත් දින ගෙවී ගියේ මිතුදම් තව තවත් ශක්තිමත් කරමිනි එහෙත් ආදරයක් ඒ තුල වූවාදැයි මම තවම නොදනිමි. 

          සිතුවිලි දාමය බිදීගියේ මගේ දුරකථනයේ සටහන් වූ මිස් කොල් එකෙනි. ඒ ඇයයි. විභාගය සදහා ලහිලහියේ සූදානම් වෙමින් සිටින ඇය මේ රාත්‍රියේ මිස් කෝල් ගසන්නේ පාඩම් කරනා බව මට නොකියා කියන්නටය. දුරකථනය අතට ගත් මම ඇය ඇමතුවෙමි.

   "හෙලෝ යාළු, මොකෝ මේ රෑ ඇහැරගෙන. ඔයත් පාඩම් කරනවද? හි හි හි..."

   "අද මාත් බෝඩිමේනෙ"

   "ආනේ මට අමතක උනානෙ යාළු. කොහොමද බෝඩිම හොදද?"

   "වරදක් නෑ"

   "එහෙනම් කමක් නෑ. අපිත් මේ තේ එකක් බොන්න කියලා යන්නෙ. කට්ටියම ෆෝන් වල එල්ලිලා ඒ ටිකට ඒකයි මමත් මිස් කෝල් එකක් ගැහුවෙ. මං හිතුවෙ ඔයා නිදි ඇති කියල"

   "එහෙනම් තේ බීල එහෙම පාඩම් කරන්න ගන්න"

   "හරි යාළු. ඔයා නිදාගන්න එහෙනම්"

   "හ්ම්... බුදුසරණයි"

   "බුදුසරණයි"

          දුරකථනය විසන්දි කල මම දෙනෙත් පිය ගත්තේය. නොදැනීම නින්ද මාවෙත පැමිණ තිබුනි.

************************************************************************

          දුරකථනයේ එලාම් නාදයට ඇහැ ඇරුනේය. ඊයේ නිදාගන්නා විට පාන්දර එකත් පසුවී තිබුනි. බෝඩිමේ සිට පංති යන පළමු දිනය අදය. පංති ආරම්භ වන්නේ අටයි පහලවටය. අටට බෝඩිමෙන් ගියද වේලාවට පංතියට යාහැක. ඇදෙන් නැගී සිටි පොත්ටික සූදානම් කර ගත්තේය. තරමක සීතලක් තිබුනද එය නොතකා නාගත්තේය. කාමරයේ දැල්වුන බල්බයේ එලිය දැකදෝ ඇන්ටිගේ තේ එක නාගෙන පැමිණි විගස හමුවිය. උදෑසන කෑම බෝඩිමේන්ම ගත්තේ ය. හතයි තිහ පමණ වන විට මම පංතියේය.

          පාඨමාලාව පටන්ගෙන තවමත් ගෙවී ඇත්තේ සති දෙකක් පමණය. තවමත් එකා දෙන්නා පාඨමාලාවට එක් වෙමින් තිබේ. පුහුණු මධ්‍යස්ථානයේ තිබූ පරිඝණක නැවත සකස් කරමින්ද ඒවාට මෙහෙයුම් මෘදුකාංග හා අනෙකුත් අවශ්‍ය මෘදුකාංග නැවත ස්තාපනය කරමින්ද මේ දින ගතවී යන්නේය. පරිඝණක දෘඩාංග පිළිබද මා තුල තිබූ දැනුම ප්‍රයෝජනටය ගනිමින් මේ සියළු කටයුතු වලට හොදින් සහභාගී වීමට මට හැකියාව ලැබුනි. පසුගිය කාලයේ ඇති වූ ප්‍රශ්න නිසාමදෝ මම වැඩි වැඩියෙන් නිශ්ෂබ්ද පුද්ගලයකු වී තිබුනි. කතා කලේ අවශ්‍ය වූ මොහොතට පමණි. ඒ නිසාමදෝ මා අඩම්බරකාරයෙකු යැයි කෙල්ලන් හදුන්වන බව මට රහසක් වුයේ නැත. ආඩම්බර වීමට කරුනුනම් මා තුල නොවීය. නමුත් එය දන්නේ මා පමණකි. එය හඩගා කියන්නට මට අවශ්‍ය වූයේ නැත. 


          ඊලග සතිය දෙකද ගෙවී ගියේ සුපුරුදු ලෙසටමය. පුංචි පාඩමක් දෙකක් හැරෙන්නට කිසිදු පාඩමක් ඉගැන්වූයේ නැත. ඒ තවමත් පාඨමාලාවට ළමුන් සහභාගී වෙමින් සිටි නිසාය. වසරක පූර්ණ කාලීන පාඨමාලවේ මසක් පමණ ගෙවී ගියේ සුපුරුදු ලෙස උදේ පුහුණු මධ්‍යස්ථානයටත් සවස බෝඩිමටත් යමිනි. සති අන්තයේ නිවෙසට පැමිණෙන්නේ පුද්ගලික පන්ති කිහිපය නිසාය. සුපුරුදු මිතුදමින් මගේ මිතුරියගේ මිතුරියද නිරන්තරයෙන් දුරකථනයෙන් කතා කරන්නට විය.

************************************************************************

           තවත් සතියක ආරම්භයක් සුපුරුදු ලෙස සදුදා උදෑසන නිවසේ සිටම පුහුණු මධ්‍යස්ථානය පැමිණියේ වෙනදා වේලාවද තරමක් පමා වීය. ගිය සතියේ සිට පුංචි පාඩම් දෙකක් පටන්ගෙන තිබුනි. උදෑසන පාඩමට සූදානම් වී අප පරිඝණක විද්‍යාගාරය තුලට පියමැන්නේය. මේ වන විටත් ළමුන් දහතුන් දෙනෙකු පාඨමාලව සම්බන්ද වී සිටි අතර තවත් කිහිපදෙනෙකු සම්බන්ද වීමට ඇති බව දැන ගන්නට ලැබුනි. අදද තවත් කෙනෙකු පැමිණ සිටින බව කනින් කොනින් පංතියට ආරංචිවී තිබුනි. කවුරු පැමිණියද මටනම් කම් නැත. මට අවශ්‍යව ඇත්තේ පාඨමාලාව සාර්තකව නිම කරන්නටය. සුපුරුදු පුටුවට බරවුන මා පසුගිය සතියේ පාඩම් ටික පෙරලා බැලුවේ මතකය අවදි කරගන්නට ය. 

          විද්‍යාගාරයේ දොර විවෘත වූයේ ය. මං අලස බැල්මක් ඒ දෙසට යොමු කරේ මෙතරම් ඉක්මනින් උපදේශකවරයෙකු කිසිසේත්ම පැමිණිය නොහැකි බව දන්නා නිසාමය. මගේ සිත ගැස්සීගියේ නොසිතු විලසය. කිසිම දිනක මගේ හිතේ එවන් ගැස්මක් ඇතිවී නොමැති බව ඉදුරාම කිව හැක. ඒ රුව හිත පුරා ඇදි ගියේ නිමේශයකිනි. 

************************************************************************

ලොකු ශාන ලියයි