ගං දිය සිපගෙන වෙල් යාය අතරින් ඇදී එන සිහිල් මදනල ගත දැවටෙන්නේ කෙතරම් කාලයකට පසුවද? ජීවිතයේ දියුණුව උදෙසා ඉපදී හැදී වැඩුනු සුන්දර ගම්මානය අත හැර යන්නට කැමත්තක් නොතිබුනද, මිනිසුන් නොමරා මරන මිල මුදල් හිඟ කම හමුවේ කරගත හැකි යමක් නොතිබුන නිසා ගම අතහැර නගරයට යන්නට සිදු උනේ මීට අවුරුදු දහයකට පමන පෙරයි. ඒ ගිය ගමනෙන් පසු පුරා වසර දහයක් පුරා නගරයේ ඒකාකාරී දිවියකට සිරවී බිත්ති හතරක කාමරයකට කොටු වී අනාගතය වෙනුවෙන් ජීවිතයේ හොදම කාලය කැප කරන්නට මට සිදුවිය. පවුලේ සියල්ලන්ගේම දියණුව උදෙසා ඒ කැප කිරීම කරන්නට මට හැකියාව තිබීම මා භාග්‍යක් කොට සලකමි. ජීවිතයේ ඉදිරියට මගේම කියා ව්‍යපාරයක් කරගෙන ගමෙහි ජීවත් වන්නට මට දැඩි උවමනාවක් තිබිනි. විදි දුක්වල ප්‍රතිඵලය බැංකු ගිනුමක් තුල තැන්පත් කර ඇත. ඒ මුදල් යොදවා මාගේ කියා යමක් කරන්නට තිබූ උවමනාව රැකියාව අතහැර එන්නට මා පෙළඹවිය.
“ මහත්තයා මොකද කල්පනාව වාහනේ කැඩිලාවත්ද?“
මෙතෙක් වේලා සිතුවිලි අතර දැහැන්ගත වී සිටි මා පියවි ලෝකයට පැමිනියේ ඒ ඇමතීමත් සමගය. කාර් එකෙහි බදට හේත්තු වී සිටි මම ආපසු හැරී බැලුවේ කතා කල පුද්ගලයා කවුදැයි දැනගැනීමටය. හැරමිටියකට වාරු වී මා දැස බලා සිටි ඔහු හඳුනා ගැනීමට මට වැඩි වේලාවක් ගියේ නැත. ගමේ පාසලේ මට අකුරු කරවූ ඔහු විශ්‍රාම ගියේ මා පාසලෙන් ඉවත්වන්නටත් ප්‍රථමය. දැන් ජීවිතයේ සැදෑ සමය ගත කරන ඔහුගේ වියපත් දෑසට මා හඳුනා ගැනීමට නොහැකි වූ බව මට හැඟුනි.
“නැහැ සර් ප්‍රශ්නයක් නැහැ කාලෙකින් ගමට ආපු නිසා මේ පැත්ත බලන්නයි වාහනේ නවත්තන් උන්නෙ.“
මාගේ ප්රථිචාරයෙන් විමතියට පත් බවක් පෙන්වූ ඔහු මා දෙස මොහොතක් විපරමින් බැලූවේය.
“ ගම්බාර දෙයියන්ට ඔප්පු වෙච්චාවේ මේ අපේ සුධීර පුතා නේද?“
“ මං හිතුවේ සර්ට මාව අඳුර ගන්න බැරිවෙයි කියල“
වියපත් මුහුණට සිනාවක් නංවාගත් ඔහු මා දෙස බලාගෙන අතීතය සිහි කරන්නට වෙහෙසුන බවක් පෙනුනි.
“ ඉස්කෝලේට හිටිය දක්ෂම ළමයව අදුර ගන්න බැරි වෙන තරම් මම වයසට ගිහින් කියල මම හිතන්නෙ නෑ පුතා“ “ නගරේ ජීවිතෙන් මිරිකිලා නගරේ පීඩනවලින් තැලිල පොඩිවෙච්චි පාට හින්ද අඳුර ගන්න ටිකක් විතර වෙලා ගියා.“ “ මම හදිසි ගමනක් යන ගමන් හවස් ජාමේ සුධීරලගේ ගෙවල් පැත්තට ගොඩ වෙලා යන්න එන්නම්.“
ඒසේ කියූ ඔහු මගෙන් සමුගෙන යන්නට ගියේය. ඈත වංගුවකින් ඔහු නොපෙනී යන තෙක්ම ඔහු කියූ දෙවල් මාගේ මනසේ රැව් දුනි. වාහනයට ඇතුල් වී එය පණගන්වාගත් මම සෙමින් සෙමින් ඉදිරියට ගියේ ගමෙහි වී ඇති වෙනස්කම් හදුනාගැනීමේ අටියෙනි. මා නගරයේ සිටි අවුරුදු දහයක කාලයක් තුල නගරය විශාල වශයෙන් විපර්යාසයන්ට භාජන වී වෙනස් වූ ආකාරය මා දැක තිබුනි. නමුත් ඒ වසර දහයක කාලය තුල ගමෙහි හඳුනාගන්නට තරම් වෙනස්කම් ඇති වී නැති බව මට පෙනුනි. කුඩාවට තිබූ නිවෙස් පමණක් විශාල කර සාදා තිබිනි.
සෙමින් ඉදිරියට ඇදෙන වාහනයේ ඉදිරිපස වීදුරුව තුලින් පෙනෙන දර්ශන දෙස මා බලා සිටියේ ආශාවෙන් නරඹන චිත්‍රපටියක රූප රාමු දෙස බලා සිටින්නා සේය. අපේ නිවස දැක ගැනීමේ අටියෙනි මා ඊලග වංගුව හැරවූයේ.
මා ගමෙන් යන විට පොල්අතු පැලක්ව තිබූ අපේ නිවස දැන් විශාල උළු ගෙයක් බවට පත්ව තිබුනි. මා නගරයේ සිට නිවස සෑදිමටත් එදිනෙදා වියදමටත් එව් මුදලින් හොදින් ප්‍රයෝජන ගන්නට තාත්තා සමත්ව ඇති බව ඒ නිවස දකින විට මට හැඟුනි.
විවෘත කර තිබූ ගේට්ටුවෙන් ඇතුලට වාහනය ඇතුල් කරන විට මිදුලේ සිටි බල්ලෙක් බුරාගෙන ඉදිරියට ආවේය. වාහනයේ නලා හඬත් බල්ලාගේ බිරීමත් නිසාදෝ ඉදිරි දොරින් එලියට පැමිණියේ මාගේ ආදරණීය බාල සහෝදරියයි. වාහනය නැවැත්වූ මම එයින් එලියට බැසගත්තේ සැනසුම් සුසුමක් හෙලමිනි. නැවත ගෙදරට එන්නට හැකිවීම නිසා කියාගත නොහැකි තරම් සතුටක් මා සිත වෙලාගෙන තිබුනි.
මා දුටු විගස පුදුමයට පත් නංගී දිව විත් මා වැලද ගත්තේ “ අම්මේ අයියා අපිව බලන්න ඇවිත් “ යනුවෙන් මහ හඩින් කෑ ගසමිනි. මගෙන් මදී මා දෙස නැවත හොදින් බැලන නංගීගේ දෑසෙහි රැඳුනු කඳුලු කැට එක දෙක බිම වැටී මිදුලෙහි වූ වැල්ලෙහි මිහිදන් විය. නංගීගේ කෑ ගැසීම නිසා දුව ආ මවත් පියාත් දෙසට ගමන් කල මා අම්මාව හා තාත්තාව වැළද ගත්තේ අපමන සෙනෙහසකින් යුතුව. මාගේ අතින් අල්ලාගෙන අම්මා මාව ගෙතුලට එක්ක ගියේ සතුටු කඳුලු වගුරවමිනි. අප පිටුපසින් තාත්තාත් නංගීත් ගෙට ඇතුල් විය.
“ අනේ පුතේ උඹට අපි කොච්චර කිවුවද අපිව බලල යන්න එන්න කියල. ඒත් අවුරුදු දහයක් යනකම්ම උඹට එන්න බැරි උනානේ අපිව බලන්න.“
අම්මා අඩන්නට වුයේ එසේ කියමිනි. තාත්තා අම්මා ලඟට පැමින ඇගේ හිස අතගෑවේය. ඉස්සර සිටම තාත්තා එහෙමය අපි කවුරුවත් අඬනවාට ඔහු අකමැතිය. එවිට ලඟට පැමින අපිව සනසන එක තාත්තගේ පුරුද්දකි.
“ දැන් අඬන්න ඕනේ නෑනේ මැණිකේ පුතා ගෙදර ආවනේ “
“කියන්නෙවත් නැතුව ආවේ හරි නරකයි ඔයා“ නංගී මා අසලට විත් කීවේය.
“ඔයාලව පුදුම කරන්න හිතන් එහෙම ආවේ“ මෙතෙක් වෙලා නිහඬව සිටි මම කීවෙමි.
“ ආ... මෙහෙ එනවකෝ අර කාර් එකේ බඩු වගයක් තියනව ඒවා ටික අරන් එන්න.“
මම නංගීවත් ඇදගෙන ගොස් වාහනේ තිබූ මගේ බඩුබාහිරාදියත් ගෙදර අයට ගෙනා තෑගිබෝගත් අරගෙන නැවත ගෙට එන විට තාත්තා මා දෙස බලා සිටියේය. ඔහුගේ දෑසෙ පිට වන්නට පොර කමින් කඳුලු කැට කිහිපයක් විනි. එදා සිටම අප වෙනුවෙන් තාත්තා විදි දුක් ගැහැට නිම වී ඇතත් ඔවුන් වෙනුවෙන් දුක් විදි මා නිසා ඒ කඳුලු කැට ඉපදෙන්නට ඇත.
“ අපි එපා කියද්දි උඹ කොළඹ ගියාට උඹ දියුණු වෙලා තියනව පුතේ. ඒත් බලපන් උඹ දිහා ඇටසැකිල්ලකට දෙවෙනි නෑ. ගමේ ඉද්දි උඹ හිටියෙ ඔහොම යෑ.“ කියූ තාත්තා ගේ පිටුපස පැත්තට ගියේය.
“ අම්මෝ මට මහන්සියි හලෝ නාගන්න ඕනා. ඇලේ වතුර තියනවද දන්නෙ නෑ නාගන්න.“ මම නංගීගෙන් අසුවෙමි.
“ මම හිතුවේ බාත් රූම් එක කොහෙද කියල අහයි කියල.“ නංගී නෝක්කාඩුවක ස්වරයෙන් කීවේය.
“ ගමෙන් ගියාට මට ගම අමතක වෙලා නෑ නංගී හැමදාම නිදාගත්තම හීන දකින්නෙ ගම ගැනමයි.“ මම දුකින් කීවෙමි.
“ අයියෝ විහිලුවක් අනේ කලේ. යන් යන් ඇලේ වතුර තියෙනව ඇති වෙනකන් නා ගන්න.“
මම ඇදුම් මාරු කරගෙන තුවායත් රැගෙන බෑග් එකේ තිබූ විශාල චොකලට් රෝල් එකත් අරගෙන එලියට ආවෙමි. චෝක් රෝල් ගත් නංගී එය මේසෙ උඩින් තියා ඉක්මනට ආපසු අවේය. අපි දෙන්නා ගෙයි පිටු පස දොරින් ගොස් වෙල් යායට පය තියනවාත් සමගම තාත්තාත් පැමින අපිත් සමග එක් විය. ඇළට ගොස් මම හොදින් නා ගත්තේය. තාත්තාත් නංගීත් මා දෙස බලමින් මොනවාදෝ කියමින් සිනාසෙමින් සිටියේය. ගමේ සුවඳින් පිරී ගොස් තිබූ හිතත් අරන් මම ගොඩට ආවේ තාත්තා දෙස බලමිනි.
“ මම ආයේ යන්නේ නෑ තාත්තෙ, මම රස්සවෙනුත් අස්වෙලයි ආවේ. ගමට වෙලා මොනාහරි කරන්නයි කල්පනා කරන්නෙ.“
“ ඇති යන්තම් මම හිතුවෙ යන්ඩ හිතන් ආවා කියල“ නංගී සතුටින් කීවේය.
“ බලපන් පුතේ ගම දිහා ටිකක්. ඔය සල්ලි පස්සේ නැහෙන මිනිස්සුද ගමේ ඉන්නෙ.“
“ ගමේ වෙලෙන් ගන්න හාල් වලින් බත් ටිකක් කාලා, ගමේ පළතුරක් එළවලුවක් කාලා හැදෙන ගමේ මිනිස්සු ළග තමා මනුස්සකම තියෙන්නෙ.“
“ගමේ තමා පුතේ මිනිස්සු ඉන්නෙ. නගරෙ ඉන්නේ රොබෝලා සල්ලි හොයන්ඩ කියල උන්ට කිව්වම උන් ඒක කර කර ඉන්නවා. ගමේ මිනිස්සු ජීවත්වෙන මිනිස්සු. මැරිච්ච මිනිස්සු ගනේට වැඩෙන්ඩ උඹ ආයේ යන්ඩ එපා.“
තාත්තාගේ කතාව ඇත්තය. සොහොන් පිටියක ඇවිදින අවතාර පරිද්දෙන් දවස පුරා කොන්ක්‍රීට් කණු අතර ඇවිදිමින් ඒකාකාරී ජීවිතයක් ගත කරන නගරයේ මිනිසුන්, මිනිසුන්යැයි කිව හැකිද?
නියම මිනිසෙකු ලෙස සමාජය දෙස බලන විට, ගමේ කුඹරක් කොටා මුලු රටටම බත් කන්නට දෙන ගොවියාත්, ඒ බත් කමින් සල්ලි මත්තේම නැහෙන ව්‍යාපාරිකයිනුත් අතර අහසට පොළව මෙන් පරතරයක් ඇති බව පෙනෙයි. ගමට වී ගමේ මිනිසෙක් ලෙස ජීවත් වන්නට නැවතත් හැකි වීම පිළිබද උපන් සොම්නසින් යුතුව මා නිවසට යන්නට හැරුනි. ගමේ කුඹුරු අතර හැදීවැඩී වියපත් වූ පියාත් සමග නංගීත් මා පසු පසින් එති.

හමෝම මිනිස්සු තමා බං. ඒකේ දෙකක් නෑ. කතාව නං නියමයි...
ReplyDeleteඔව් බන් ඒක ඇත්ත. ඒත් බන් සමහර මිනිස්සුන්ට මිනිස්සු වෙන්නවත් වෙලාවක් නෑ. ඒක හින්ද මිනිස්කම බින්න බැහැල යන සමාජයක් දැන් තියෙන්නෙ.
Deleteතැන්කූ බන් මම ලියපු මුල්ම කතාවනෙ ඒක හින්ද වැරදි ඇති ඕසෙට. ජය වේවා!
ගම්වල මිනිස්සු අවංක යි, සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ. නගරේ උදවිය කියන්නේ එකක් හිතේ තියෙන්නේ තව එකක්. දැන් ඉතින් ගමත් වෙනස් වේගෙන එනවා.
ReplyDeleteඔයා හරි, ගමත් ටිකෙන් ටික නාගරීකරණය වේගන යද්දි මිනිස්සුත් වෙනස්වෙනව ධාරා. තව ටික කාලයක් යද්දි අවංක මනුස්සයෙක් හොයා ගන්න එකත් හරි අමාරුවෙයි. ස්තූතිය මේ පැත්තෙ ඇවිත් ගියාට. ජය වේවා!
Deleteනගරයෙන් ටිකක් ඈත් වෙලා හිටපු ටික කාලෙට මටත් මෙහෙම හිතෙනවා.
Deleteතමන් හැමදාම ඉන්නෙ ගින්දරට පිච්චි පිච්චිනම් ගින්දරෙන් ඈත් උනාම තමයි දන්නෙ ගින්දරට පිච්චෙනව කියල. මිනිස්සු ගැන දැනගන්නනම් හැම ජාතියෙ මිනිස් කොට්ටාසයක් සමගම ජීවත් වෙලා තියෙන්න ඕනා. ස්තූතිය දිලිනි මේ පැත්තෙ ඇවිත් ගියාට. ජය වේවා!
Delete@ධාරා....එහෙමම කියන්න බැහැ ධාරා.නගරයෙත් ඉන්නවා හිත හොඳ සුන්දර මිනිස්සු.
Deleteshaa harima lassanata liyapu keti kathaawak.
ReplyDeleteබොහොම ස්තූතියි සයුරි.
Deleteබ්ලොග් අවකාශයට තවත් ශාන් කෙනෙක්. කවුරු වුණත් කමක් නෑ හොදයි මේ ලියැවිල්ල.
ReplyDeleteමම ටික කාලයක් නිවාඩු අරගත්තා. දැන් ආයෙත් ලියන්න පටන්ගත්තා. අනිත් ශාන් අපේ අයියා තවත් ශාන්ල ඉන්නවද?
Deleteජය වේවා!
හොදයි මචං උබේ ලියන විදිය ලස්සනයි,.. දිගටම ලියපන් හොද බ්ලොග් එකක්
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි මචං. ජය වේවා!
Deleteප්‍රබන්ධයක් හැටියට කතාව හොඳයි,මට හිතෙනවා තව කොටසක් ආවොත් හොඳයි කියල,මොකද සුධීරගේ ඉදිරි වැඩපිළිවෙල ගැන එහෙම කියල.
ReplyDeleteහැබැයි ශාන් ගම නම් ඕක නෙවෙයි,මම දන්නේ නෑ ශාන් ගමක ඉපදුනු කෙනෙක්ද ගමක් දැකලවත් තියෙනවද කියල
//මට හිතෙනවා තව කොටසක් ආවොත් හොඳයි කියල,//
Deleteමම මේක කෙටි කතාවක් විදිහට ලියපු හින්ද තවත් කොටසක් එක් කරන එක හරි නෑ වගේ.
//හැබැයි ශාන් ගම නම් ඕක නෙවෙයි,මම දන්නේ නෑ ශාන් ගමක ඉපදුනු කෙනෙක්ද ගමක් දැකලවත් තියෙනවද කියල//
ගමක ඉපදිලා ගමක ජීවත්වෙන කෙනෙක් මම. ඔයා හිතන විදිහට ගම කොහොමද කියල කියනවනම් මම සතුටුයි. අනික නගරේ අය විතරක් නෙමේ බ්ලොග් ලියන්නෙ.
//මැරිච්ච මිනිස්සු ගනේට වැඩෙන්ඩ උඹ ආයේ යන්ඩ එපා//
ReplyDeleteමං දකින විදිහට කතාවෙන් දෙන වැදගත්ම පණිවුඩය මේක.ඇත්තටම නගරයේ කාර්යබහුල ජීවිතයක් ගත කරන අපි ඇත්තටම මැරුණු මිනිස්සු වගේ තමා.
උබේ ලියවිලි හොඳයි! දිගටම එන්නම්!
මම දුලාගේ අඩවියේ™ දුලා
සාදරයෙන් පිලිගන්නවා දුලා සිතැගියාවට. බොහොම ස්තූතියි කොමෙන්ට් කරල ගියාට. ජය වේවා!
Deleteමගේ කමෙන්ට් එක කොහෙද ගියේ පොඩි ශාන්?උඩ තියෙන එක නොවේ.
ReplyDeleteමචං උබේ කොමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නෑ වගේ බන්. ස්පෑම් වලත් නෑ. ආයේ දාහන් මචං තරහ නොවී.
Deleteගමේ නගරෙ වෙනස මමත් හොදට අත් දැකල තියෙනවා. ගමේ සංස්කෘතියයි නගරෙ සංස්කෘතියයි හරියට අහසයි පොළවයි වගේ. ගමෙන් නගරෙට ගිහින්ම නැති පිරිසකුයි නගරෙන් ගමට ගිහින්ම නැති පිරිසකුයි එකට එකතු කරල ෆන්ෂන් එකක් කරන්න තියෙන්නෙ එතකොට ඔය වෙනස්කම් හොදට බලා ගත්තැහැකි. ගමේටික එකතුවෙලා නගරෙ අයට මේ මොන බයියො ටිකක්ද කියයි. නගරෙ ටික ගමේ අයට මේ මොන ගොඩයො ටිකක්ද කියයි.
ReplyDeleteනියමයි මලය ලියවිල්ල ගමේයි නගරෙයි වෙනස තව ටිකක් තදට දැනෙන්න ලිව්වනම් හොදටම හොදයි.
හේ හේ එකනම් ඇත්ත තමා. ඒත් ඉතින් දැන් තියෙන තාක්ෂණේ හින්ද ඔය කියන දෙගොල්ලොම ටෙලිවිෂන් ඔස්සේ ගමයි නගරයි දැකල ඇති නෙව. ඒක හින්ද වැඩියෙ මුකුත් වෙන එහෙකුත් නෑ මගෙ හිතේ.
Delete