Friday, August 16, 2013

මා හද සසල විය


පුරුදු පරිදි හංදියට වී බස් එකක් එනතුරු සිටි මගේ අතට සීතල වතුර බින්දුවක් වැටුනේය. වැස්සක් එන පාටක් උදේ නොතිබුනද සිහින් පොද වැස්සක් කොටින්ම කිව්වොත් මල් වැස්සක් ඇද හැලෙන්නේ උදෑසනම සිසිල් කරවමිනි. වැස්සෙන් බේරෙන්නට ගසක් යටට යෑමට හැකියාව තිබුනද ඒ මල් වැස්සේ තෙමෙන්නට මගේ සිත මට බල කරයි. 
ඈත වංගුවෙන් හැරුන මා හැමදාම යන  සුපුරුදු බස්රථය හදුනාගැනීමට මට හැකිවිය. වේලාසනින් පාසලට යන්නට පුරුදු වී සිටි මට ඒ බස්රථය දැන් පුරුදුය. උදෑසන සෙනග අඩු නමුත් ඉක්මනින් යන බස් රථයක් බැවින් මම එයට කැමති වීමි. පාරවල් දිගේ කාලය මිඩංගු කරන්නට මම අකමැති වීමි.

බස්රථයට අත ඇල්ලුවත් නැතත් එය පුරුද්දට මා වෙනුවෙන් නවත්වයි. නමුත් මා පුරුදු පරිදි අත අල්ලා බස් රථයට ගොඩ උනෙමි. මා බසයට ගොඩ වෙනවාත් සමග මල් වැස්ස මහ වැස්සක් බවට පත් වූයේ නිතැතිනි.

“ගුඩ් මෝනින්  මහත්තයා“ හැමදාම යන බස් එක හින්ද මාව හොදින් අදුනන කොන්දොස්තර අංකල් කීවේය. මමත් පුරුදු හිනාවත් එක්කම කතාව පටන් ගත්තෙමි.

“ ගුඩ් මෝනින්. අද එකපාරටම මාර වැස්සක්නෙ වැටුනෙ නේද අංකල්“

“ ඒකනේ මහත්තයා මෙහෙම උනාම මුළු දවසම එපා වෙනවා“ 

“ මේ වහින කාලෙත් නෙමේනෙ නේද අංකල්. වහින කාලෙට හරියට වහින්නෙ නෑ. වහින්නැති කාලෙට තමා මොර සූරන්න වහිනනෙ.“ වැස්සත් සමග අමනාපයෙන් යුතුව මම පැවසීමි.

වියපත් දෑසින් බස් රථයේ ජනේලයෙන් පිටත බලාගෙන කල්පනාවක ගිලී සිටි අංකල්ට මාගේ වදන් ඇසුනාද යන්න මට සැක සිතිනි.

“මිනිස්සු වෙනස්වෙද්දි ඒත් එක්ක සොභාදහමත් වෙනස්වෙනවා මහත්තයා.“

ඔහු පැවසූ වදන් වලින් ඒ සැකය තුරන් වී ගොස් මාවද කල්පනා ලෝකයකට ඇද දමන්නට සමත් විනි. මෙතෙක් කල් ඔහු දැක තිබුනත් පළමු වතාවට මම ඔහු දෙස හොදින් බැලීමි. පළල් නලල් තලයකුත් උකුසු ඇස් දෙකකුත් හිමි මේ වියපත් මිනිසා ජීවිතයේ කටුක බලපෑම්වලට ගොදුරුව ජීවිතයේ අප නොදුටු පැත්තක් දුටු නැනවත් මිනිසෙක් විය හැක. රාජකාරිය සදහා පාසලට යන සෑම දිනකම පාහේ කතා බහ කර දැන අදුනගත් මේ වියපත් මිනිසාගේ කතාබස් තුලින් ඔහු ජීවිතයේ ලබා ඇති අත්දැකීම් සමුදාය පිළිබද දැනීමක් මට ලබා ගත හැකිවිය.

“ මොකද මහත්තයා බර කල්පනාවක“

“ අංකල්ගැන තමා අංකල් කල්පනා කලේ. අංකල් ජීවිතේ ගොඩක් දුක් විදපු කෙනෙක් කියල මට හිතුන“

විවෘත මිනිසෙක් වූ මම විවෘතව කතා කරන්නට කැමැත්තෙමි. එබැවින් මා සිතමින් සිටි දෙය කෙලින්ම කියන්නට මම මැලි නොවුයෙමි.

“ දරුවො වෙනුවෙන් අවංකව කැපවෙන තාත්තල ගොඩදෙනෙක් ජීවිතේ ගොඩක් දුක් විදිනවා මහත්තයා.“
“ ඔන්න මහත්තයා ස්ටෑන්ඩ් එකටත් ආවා. පරිස්සමින් ගිහින් එන්න. වැස්ස අඩුවෙන පාටකුත් නෑ වගේ.“

“ මම එහෙනම් යනවා අංකල් හෙට උදේට ආයේ හම්බෙමුකෝ“ දොර ලගට ලංවෙමින් මා පැවසුවේ පුරුද්දට මෙන් හැමදාම බෑගයේ දමාගෙන යන පොඩි කුඩය අතට ගනිමිනි. 

බස්රථය නැවැත්වු විගස කුඩය ඉහලමින් එලියට පැන ගත් මම වැස්සෙන් බේරෙන්නට කුඩය තුල ගුලිගැහෙමින් පාසල වෙත පිය නගන්නට වීමි. බස් නැවතුම්පළෙහි සිට පාසලට යාමට ටික දුරක් ඇත. දහවල් වන විට කාර්යබහුල නගරයත් වූවත් හදිසියේ වට වැස්සෙන් බේරෙන්නට කඩසාප්පුවල අයිනට වී සිටි කිහිප දෙනෙක් හැරෙන්නට වෙන  කිසිවෙක් නගරයෙහි දකින්නට නැත. වැස්සෙන් ඔලුවත් ඇගත් අමාරුවෙන් බේරා ගත්තත් සපත්තු දෙක තුලට වතුර යන එකනම් නැවැත්විය නොහැක. 

හෙමින් හෙමන් ඉදිරියට ඇදෙන මා නෙත ගැටුනු දර්ශනයකින් මගේ සිත සසල වී ගියේ නිතැතිනි. පාරෙන් ටිකක් ඉවතට වෙන්නට වැස්සට තෙමෙමින් කුණුබක්කියක් අවුස්සන ගැහැනියක් මා නෙතට හසුවිය. මේ මහ වැස්සේ තෙමෙමින් කුණුබක්කියක් අවුසන මැය මානසික රෝගියෙක් විය හැකියයි මට සිතුණි. නමුත් ඇති වූ කුතුහලයත් සසල වූ සිතත් සමග මට ඇයව පසු කර යාමට නොහැකි විය. යන ගමන මදකට නවතා ඇය වෙත පිය නැගුවේ ඇගේ මේ ක්‍රියා කලාපයට හේතුව සොයා බැලීමේ දැඩි උවමනාවත් සමගයි. ඇය කෙතරම් ඇගේ කාර්යයට සිත යොදවා ඇත්ද යත් මා ඇගේ ලගට ගියත් ඈ මා නොදිටීය. එම නිසා මා ඇය පසුකර කුණුබක්කියේ අනික් පසට ගොස් ඈ දෙස හැරී බැලුවෙමි.

මා දෙස එක් වරක් හැරී බැලූ ඇය නැවතත් ඇගේ කාර්යයට යොමු වූවාය. ඇය දෙස හොදින් බැලූ මට ඇය මානසික රෝගියෙකුයැයි කියන්නට හැකි එකම අවස්තාව ඇගේ මේ ක්‍රියාකලාපය පමණක් බව පැහැදිලි විය. ඇය පිස්සියක් නොවේනම් මේ ක්‍රියාවට හේතුව කුමක්ද? ඒ පැනයට මාගේ සිතින් ලද පිළිතුර ඇය ඇමතීමට මා යොමු කෙරිනි. මගේ බෑගයේ තිබූ බත් මුල අතට ගමන් මම ඇය ඇමතුවෙමි.

“අම්මේ, අම්මා ඇයි මේ වැස්සේ කුණුබක්කි අවුසන්නේ. බඩිගිනිනම් මේ බත් එක ගන්න. ඔහොම වැස්සට තෙමෙන්න එපා.“ 

මගේ නිගමනය නිවැරදිය. දුක්බර මුහුනකින් මා දෙස බලා සිටි ඇය මා දෙසට පැමිණ මා දිගුකල බත් මුල අතට ගත්තේය. 

“ පින්සිද්ද වෙනවා පුතේ. මම දවස් දෙකකින් හරියට කෑමක් කාල නෑ. බඩගින්න ඉවසන්න බැරි තැන තමා කුණුබක්කිය ඇදලා කන්ඩ දෙයක් හෙව්වෙ.“

ඇගේ වදන් මාගේ ශෝකය දෙගුන තෙගුන කල අතර ප්‍රශ්න වැලක මා පටලා දැමීමට සමත් විය. හිතට නැගුන දුකත් කුතුහලයත් සමග ඒ ප්‍රශ්න එකින් එක මුදා හරින්නට මම පටන් ගතිමි.

“ අම්මට ඉන්න තැනක් නැද්ද? ළමයි නැද්ද? නෑදෑයෝ නැද්ද?“
මා එක පිට එක ප්‍රශ්න කිහිපයක් ඇය වෙත යොමු කලේ පිළිතුරු පිළිබද වැඩි බලාපොරොත්තුවක් නැතිවය.

“ දේපළ ඉඩකඩම් ඔක්කොම දරුවන්ට ලියල දුන්නේ ජීවිතේ අන්තිම කාලේ දරුවොත් එක්ක සතුටින් ඉන්න කියල හිතාගෙන. ඒත් දරුවොත් වෙනස්කම් කරද්දි මහ පාරේ පිහිට විතරයි පුතේ. සල්ලි නැති කල නෑදෑයෝ බලන්නෙත් නෑ.“

ඇගේ දෑසින් වැටෙන කදුලු ගිගුම් දෙමින් වැටෙන මහ වර්ෂාවත් පරදවන තරම් විය.

“ අම්මගේ පුතාල කවුද අම්මේ අම්මව ආයේ ගෙදරට ඇරලවන්න මට පුළුවන්.“

“ ඒ ගෙදර ඉන්න බැරි නිසාමයි පුතේ මම පාරට බැස්සේ. ආයේ එහෙ යන්න මගේ බලාපොරොත්තුවක් නෑ.“ 

“ අම්මට ගොඩක් බඩගිනි ඇතිනෙ  තෙමෙන්න නැති තැනකට ගිහින් ඔය බත් එක කන්න“

වෙන කිවයුතු දෙයක් සිතට නොනැගුනු හෙයින් මම කීවෙමි. මට නැවතත් පින් දුන් ඇය මොන මොනවාදෝ කියමින් තාමත් වසා තිබූ කඩයක හට් එකක් තුලට යනු මම බලා සිටියෙමි. වෙනත් කලහැකි යමක් නොතිබුනෙන් මම නැවතත් පාසල වෙත යන්නට පටන් ගත්තෙමි. වර්ෂාවත් තරමක් දුරට තුරල් වී ගොස් තිබිනි. සිත පොරකන හැගීම් සමුදායක් සමග තනි වී මම සෙමින් සෙමින් පාසලට ඇතුල් වුනෙමි.

දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කර, දරුවන් වෙනුවෙන් තම සතුට කැප කර, දරුවන් වෙනුවෙන් තමාගේයැයි කිව හැකි සියල්ලම කැප කරන ආදරණීය මව්වරුන්ගේත් පියවරුන්ගේත් අවසන් ඉරනම කුමක්දැයි කාටනම් කිව හැකිද?

18 comments:

  1. මේක දැන් ලංකාවේ අයට "ට්‍රෙන්ඩ්" එකක් වෙලානේ. ඔය විදියට පාරවල් අයිනේ කුණු බක්කි අවුසන අම්මලා, තාත්තලගේ දරුවෝ මේ සමාජ ඉහළ ම තනතුරුවල නිරත වෙලා ඉන්න වැදගත් උදවිය! කාට කියන්න ද ඉතින් මේවා? එක්කෝ හරි හමන් සමාජ සංරක්ෂණ ජාලයක් ඇති කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හැමෝම ගැන නෙමේ ධාරා කියන්නේ. අපේ තාත්තට දවසක් වෙච්ච දෙයක් මෙහෙම වෙනස් කරල කතාවකට හැරෙව්වේ.

      //ඔය විදියට පාරවල් අයිනේ කුණු බක්කි අවුසන අම්මලා, තාත්තලගේ දරුවෝ මේ සමාජ ඉහළ ම තනතුරුවල නිරත වෙලා ඉන්න වැදගත් උදවිය!//
      කාටද කියන්න පුළුවන් ඒ හැමෝම සමාජෙ ඉහළ තනතුරුවල නිරත වෙලා ඉන්න අය කියල. තමන්ගෙ අම්මව තාත්තව බලාගන්න තරම් වත්කමක් නැති දරුවො වෙන්නත් පුළුවන්.

      Delete
    2. ඔව් SHAN මන් ඔයත් එක්ක එකගයි

      Delete
    3. ස්තූතියි අපූර්වී

      Delete
  2. දියුණු කරගන්න පුළුවන් හැකියාවක් තියනවා. නිතර නිතර ලියන්න

    අදකාලේ මිනිහෙක් පාරේ කුනුබක්කියක් අවුස්සන එක සුලබ දෙයක් වුනත්, ඒ මනුස්සය වෙනුවෙන් විනාඩියක්වත් කැප කරන (කතා නායකයා වගේ) කෙනෙක් හොයා ගන්න එක අමාරු දෙයක් .

    ReplyDelete
  3. //අදකාලේ මිනිහෙක් පාරේ කුනුබක්කියක් අවුස්සන එක සුලබ දෙයක් වුනත්, ඒ මනුස්සය වෙනුවෙන් විනාඩියක්වත් කැප කරන (කතා නායකයා වගේ) කෙනෙක් හොයා ගන්න එක අමාරු දෙයක් .//

    හැමෝම නොදකින පැත්තක් උඹ දැකල තියනව මචං. නිතර නිතර ලියන්න වෙලාව වෙන් කර ගන්න එක තමා බන් වැඩේ. ජය වේවා!

    ReplyDelete
  4. මේකට තනිකර වගකියන්න ඕන ඒ දෙමව්පියන්මයි. අනාගතේ තවත් වැඩි වෙයි. අද දරුවන්ට දෙමව්පියන් එක්ක තියෙන්නේ වෛරයක්. මොකද ඔවුන්ගේ ළමා කාළය වැඩිහිටියන් උදුරා ගන්න නිසා.. බලන්න බොරුද කියලා..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත මාතලන්. අපිට තියෙන නිදහස හුගක් ළමයිට නෑ.

      Delete
  5. //දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කර, දරුවන් වෙනුවෙන් තම සතුට කැප කර, දරුවන් වෙනුවෙන් තමාගේයැයි කිව හැකි සියල්ලම කැප කරන ආදරණීය මව්වරුන්ගේත් පියවරුන්ගේත් අවසන් ඉරනම කුමක්දැයි කාටනම් කිව හැකිද?// හැම කොමෙන්ටුවකින් ම දැකල තියෙන්නේ මේ දේ නෙමේ වගේ...මොනවා වුණත් ඒ වගේ දරුවන්ට වැදගත් කියන්න බෑ නේ ද?

    ReplyDelete
    Replies
    1. ඔව් රතුපාට කරල තිබ්බත් කවුරුවත් ඒක දැකල නැති එකත් මහ පුදුම වැඩක් දිලිනි.

      //මොනවා වුණත් ඒ වගේ දරුවන්ට වැදගත් කියන්න බෑ නේ ද?//
      ඔව් ඒ වගේ දරුවන්ගෙ වැදගත් කම එතනින්ම නැතුව යනව.

      Delete
  6. පොඩි ශාන්..මේ ප්‍රශ්නයත් ලමා අපචාර වගේම දරුණු ප්‍රශ්ණයක්.වේදනාවල්ම තමයි ජීවිතයම.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි සහෝ. ජීවිතේ දුකයි ගලන්නෙ කදුලු මල් තමයි.

      Delete
  7. ඕවට වගකිව යුත්තේ දෙමාපියන්ම තමා.. මීට වඩා දරුවෝ ගැන වගකීමෙන් හිතල කටයුතු කරලා..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්. ඒත් දරුවෝ ගැන හොද වගකීමකින් කටයුතු කරන දෙමාපියන්ටත් මේව වෙන එකයි වැඩේ.

      Delete
  8. දැනට තියෙන දරුණුම ගැටලු වලින් එකක් තමා මේක...

    දැනෙන විදියට ලියලා තියෙනවා!
    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුලා.

      Delete
  9. මම මේ පැත්තෙ නැති ටිකට බ්ලොගේ පෙරලියක් කරල වගේ නේද මලය.

    කියන්න තියෙන දේවල් හැමෝම කියල තියෙන නිසා මං ආයෙත් කියන්න යන්නෙ නෑ. හැබැයි අච්චර හිත හොද මනුස්සය අර අම්මව වැස්සෙම තියාගෙනද කතා කරේ කියල මට හිතුන.

    ReplyDelete
    Replies
    1. // අච්චර හිත හොද මනුස්සය අර අම්මව වැස්සෙම තියාගෙනද කතා කරේ කියල මට හිතුන.//

      මලා මම ලියන්න හිටියෙ එතන එහ පැත්තෙ තියෙන ගොඩනැගිල්ලක් යට තෙමෙන්නැති තැනකට අම්මව එක්කන් කතා කරන්න. අඩේ සිරාවට මම හිතන් හිටියේ ඒ හරිය ලිව්ව කියලනේ අෆ්ෆා. මේ දවස්වල මාර මඥ්ඥං තමයි.

      Delete