Tuesday, June 4, 2013

සිනහව


අප සැවොම සිනාසී සිටීමට කැමතිය. මොහොතක් සිතන්න දවසකට අප කී පාරක් සිනා සෙනවාද? ඇත්තෙන්ම මතකයට නගා ගත නොහැකි තරමක් ඔබ සිනා සෙනවා ඇති. නමුත් දවසකට මා මේතරම් ප්‍රමානයක් සිනා සුනායැයි කිව හැකි තරම් ස්වල්ප ප්‍රමානයක් සිනා සෙන මිනිසුන් ලොවේ නැත්තාම නොවේ. නොමිලේ දිය හැකි එකම වස්තුව සිනහව පමනයි කියා බස් රථ වල ත්‍රීවීල් රථ වල ගසා තිබූ බව මට මතකය. ඇත්තය අපගේ සිනහවට තවත් සිතක් සතුටු කිරීමට හැකියාවක් ඇත. ඔබේ මව ඔබේ පියා ඔබේ එක් සිනා මාත්‍රයකින් කොතරම් නම් සතුටු වෙනවාද? ඔබේ ආදර වන්තයා, ආදර වන්තිය ඔබේ සිනහවකින් කෙතරම් සතුටු වෙනවාද? සිනහවට හදවතකට කතා කල හැකිය. සිනහව නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයෙකුට හිතවතුන් විශාල ප්‍රමාණයක් ඇති කරගත හැක (පොඩි ශානටත් ලොකු ශානටත් දෙදෙනාටම හිතවතුන් බර ලොට් එකක් ඉන්නේ ඒ නිසායයි සිතේ)

මිනිසුන්ට සිනහ නොවී මිනිසුන් සමග සිනහ වෙන්නැයි මා කියවූ පොතක තිබූ බව මට මතකය. කතාව ඇත්තය, අප වැඩි දෙනෙක් කාව හෝ සමච්චලයට ලක් කොට සිනහ වෙන්නට හපනුන්ය. කවුරුන් හෝ පාරක හැපී වැටුනහොත් ඔහුට සිදුවු විපත්තිය ගැන නොසිතා අප ඔහුට සිනහ වන්නේය. එවන් අවස්ථාවක ඔබ  ගොස් ඔහුට නැගී සිටීමට අත දුන්නාද? එසේනම් ඔබ හොද පුද්ගලයෙකු බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ඔබ උදෑසන රැකියාවට, පාසලට යන විට කී දෙනෙකු සමග සිනහ වෙනවාද? ඔබට වරක් හෝ අවවාද කොට ඇති කෙනෙකු සමග සිනහ වීමට ඔබ දෙවරක් සිතනු ඇත. එවිට ඔහුගේ සිතිවිලි මොනවාදැයි ඔබට සිතුනාද? ඔබ තරහ සිතේ තබාගෙන සිටිනා කෙනෙකු ලෙස ඔහු සිතනු නොඅනුමානය. පොඩි ශානා හැකි සෑම අවස්ථාවකම සිනාසෙන්නේය. හැකි සෑම කෙනෙකු සමගම සිනාසෙන්නේය. පොඩි ශානටද පෙන්නන්ට බැරි ගුරුවරු කිහිප දෙනෙක් පාසලේ ඇත. නමුත් ඔවුන් සමගත් සිනාසී යාම පොඩි ශානගේ ගතියකි. 

ඔබගේ මිතුරෙක් හෝ මිතුරියක් කදුළු පුරවාගෙන හඩනවාට ඔබ කැමතිද? නැත ඔබ කැමති වීමට කොහෙත්ම ඉඩ නැත. නමුත් ඔහු හෝ ඇය දුක් වන අවස්ථාවක ඔබ ඔවුන්ගේ සිත සැනසුවාද මුවටගට සිනහවක් නැන්වුවාද? එවන් අවස්ථාවක ඔවුනට සිනහ වෙන්නට උදව් කරන්න. ඔබට ඔවුන් සනසා සිතට සතුටක් ලබා ගත හැක බව විශ්වාසය. ඔවන් ඔබ නිසා සිනාසෙන්නේනම් ඔබට එය සතුටක් ගෙන දෙනු ඇත. හැම විටම ඔබ සිනාමුසුව ඉන්න. ඔබ අවට සිටින්නන් සමග සුහදව සිනාසෙන්න. ඔබ නිතර සිනහවෙන් සිටින්නෙකු නම් ඔබ අසතුටෙන් සිටිනවාට ඔබගේ මිතුරන් අකමැති වනු ඇත. 

වෙළද සැලක් කරන්නෙකු ලග සිනහවක් තිබීම අනිවාර්ය වේ. මිනිසුන් සමග සිනා නොවෙන කෙනෙකුගේ වෙළද සැලකට ගොඩවන්නට සිතෙන්නේ නැත. නමුත් හොදින් සිනා සී සිටින පුද්ගලයෙකුගේ ස්ථානයක් ගත් කල පෙරට වඩා හාත් පසින්ම වෙනස්ය. සිනහව බලගතුය. ඔබගේ එක් අවංක සිනහවකින් පුද්ගලයෙකුගේ හැගීම් පවා වෙනස් කල හැක. එය පොඩි ශානා හොදින් අත් දැක ඇත. විශේෂයෙන් ගැහැනු පාර්ශවයේ සිත් අද්දවා ගැනීමට සිනහව ඕනෑ වේ. සිනා නොවී මුස්පේන්තු ගතියකින් සිටින්නෙකු දෙස ගැහැනු දරුවෙක් වරකට වඩා හැරී බැලුවොත් ඇගේ ඇස් වල දෝෂයක් තිබිය හැක. නැතිනම් මූ මොකෙද්දැයි දැන ගැනීම සදහා දෙවන වර හැරී බලනු ඇත. නමුත් ඔබට නිතර බැන වදින කෙනෙකුට උවත් අහින්සක අවංක සිනහවකින් සංග්‍රහ කරන්න. ඔහු හෝ ඇය නැවත ඔබට යමක් කියන්නට දෙවරක් සිතනු ඇත. නමුත් හොදින් සිතට ගන්න. ඔබ ඔ‍බේ හද පත්ලෙන්ම සිනා සිය යුතුය. වංක සිනහවක් හා අවංක සිනහවක් එක ලග තබා බැලූ විට වෙනස්කම් රාශියක් දැක ගත හැක. එසෙනම් ඒ සිනාවන් දෙක වෙන වෙනම හදුනා ගත හැකිය. 

ඔබ සිනාසිය යුත්තේ දත් විලිස්සා, කට පජාත වන තෙක් විශාල කොට නොවේ. ඔබ සිනාසිය යුත්තේ ඔබේ හදවතින්ය. හදවතේ සිට එන සිනහවක් හදුනාගත හැක. එසේනම් අවංකව සිනා සීමට උත්සාහ කරන්න. වෙන කෙනෙකුගේ සිනාවන් කොපි කිරීමට ගොස් අමාරුවේ වැටෙන්නට එපා. ඔබටම ආවේනික ඔබේම හදවතින් සිනාසෙන්න.

අපි කොන්ඩය බෙකම් හදාගෙන පාරේ යන විට දකින අය කියන්නෙ. බෙකම් වගේ කොන්ඩේ හදාගෙන යනවා කියාය. නමුත් තමන්ට ආවේනික ලෙස කොන්ඩය සකසාගත් විට එසේ නොවේ. මා කියන්නෙ හෙයා කට් එක වෙනස් කර ගන්නට කියා නොවේ. ඔබ වෙනකෙකු ලෙස සිනාසෙද්දී එය ඔබේ සිනාව නොවේ එයා වෙනකෙකුගේ සිනාවකි. එබැවින් ඔබ, ඔබ ලෙසම සිනාසෙන්න.

හැම විටම සිනාසෙන්න සතුටින් සිටින විට ප්‍රශ්න අඩුය. හදවතද ශක්තිමත් වේ. සිනහව ආයුශ වැඩි කරන බවද මම පොතක කියවා ඇත්තෙමි. එය ඇත්තද බොරුද කියන්නට මම නොදනිමි. නමුත් සිනහව හැමෝම ලග ඇති වටිනා වස්තුවක් බවනම් කිව යුතුය.

හැම විටම අවංකව සිනාසෙන්නට පුරුදු වෙමු

Monday, June 3, 2013

දුරකථන හාද


          ලොකු ශානගේ දුරකථනය හැඩවූනේ ය. කතාකලේ ලොකු ශානාගේ ආදරණීය සිතැත්තියයි. (ආදරයේ සතුට, දුක ලොකු ශානා හොදට විද ඇත්තේ ය. ඒ ආදර අන්දරය පසුව පෝස්ටුවකින් කොටන්නට ද සිතා සිටින්නේ ය.) දුරකථනය සන්වාදයෙන් පසු ලොකු ශානා කල්පනා ලොවක ය. සිතුවිලි වේගයෙන් අතීතයට දිව ගියේ ය. පෝස්ටුවක් කොටන්නට සිතුනේ ඒ අස්සේ ය. 

          "ආදරය" ලොකු ශානා වැඩියෙන් ප්‍රියකරන මාර්තුකාවකි. මේ මාර්තුකාව ඔස්සේ දේශන ගනනාවක් කර ඇත්තේ ය. මාර්තුකාව ඇසූ සැනින් කොල්ලන්ගේ, කෙල්ලන්ගේ මුව මත ඇදී යන්නේ අපූරැ සිනහවකි. එම සිනහව අර්ථ දක්වන්නට කිසිවෙකුටත් නොහැකි වනු නොඅනු මානය. සමහරෙකුගේ සිනහව ආදරණීයය, තවකෙකුගේ දුක්බරය. අද කතාකරන්නේ ආදරය ගැන නොවේ ය. ආදරයට ඉනිමන් බදින දුරකථනය ගැනය. 2011 වර්ශයේ ගණන් බලා ඇති ආකාරයට මිලියන 18ක් පමණ ජන්ගම දුරකථන භාවිතා කර ඇත. එය 2012 දෙසැම්බර් මස අවසාන වන විට මිලියන 20.3ක්  පමණ වන්නේ ය.

          ආදරය ගැන කතා කරන අද දිනය වන විට ඒ හා සබැදිවම දුරකථනය ගැන කතාකරන්නටම වන්නේ ය. ආදරය කරන්නන් අතර අද වන විට පොත් තුල හුවමාරැ වන ලිපි භාවිතයක් නැත. ලොකු ශාන සා/පෙළ කරන කාලයේ දුරකථන එතරම්ම ජනප්‍රියත්වයක් ඉසුලුවේ නැත. එදවස හුවමාරැ වූ ලිපිගැන මතකයන් ලොකු ශානාට ඇත.(ලොකු ශානා ලියූ ලිපිනම් නොවේ) එහෙත් අද තත්වය හාත් පසින්ම වෙනස් වන්නේ ය. අද ජංගම දුරකථනයක් අතනොමැති අවුරැදු 15 පසුකල කොල්ලක, කෙල්ලක සොයා ගැනීම අසීරැ වන්නේ ය. සමහර දෙමාපියන් තම දුවට, පුතාට ජංගම දුරකථනයක් රැගෙන දෙන්නේ ආරක්ෂාව සදහා ය. නිතරම ඔවුන් සිටින්නේ කොහේදැයි සොයා බැලීමට ය. එහෙත් බොහෝ දුරකථන වල වීඩියො ඇමතුම් ගැනීමට නොහැකි වන්නේ, එම පහසුකම් ඇතත් සමහර දෙමාපියන් ඒය පාවිච්චිකරන්නටය නොදන්නේ දරැවන්ගේ වාසනාවට ද දෙමාපියන්ගේ අභාග්යටදැයි ද කියා ලොකු ශානාට නොහැගෙන්නේ ය.

          දෙමාපියන්ට කෙසේ වෙතත් දරැවන්ටනම් අද දුරකථනය වාසනාව උදා කර ඇත්තේ ය. ඒ තම තමන්ගේ ආදරණීයයන් සමග සමීප හාදකම් පවත්වන්නට ය. ලොකු ශානා ජංගම දුරකථනයක් ගත්තේ උ/පෙළ අවසානයේ කරන ලද පළමු රැකියාවෙන් ය. එතෙක් ලොකු ශානාට දුරකථනයක අවශ්‍යතාවයක් නොතිබුනි. තතු කෙසේ වෙතත් ලොකු ශානාගේ ප්‍රථම ආදරයද දුරකථන ආදරයකි.(ලගදීම ඒ ගැන කියන්නම්) අදද ලොකු ශානාට අදරණීය සිතැත්තිය සමග දොඩමළු වන්නට ලගින්ම සිටින මිතුරා ජංගම දුරකථනයයි.(අපි දෙන්න කිලොමීටර් සිය ගානක් ඈතින් ඉන්නෙ) ලොකු ශානාට එය එසේ වද්දී ලගපාත සිටින අයද දොඩමළු වන්නට දුරකථනය යොදා ගනී.

          ලොකු ශානාගේ මතකය අතීතයට දුව යන්නේ ය. ලොකු ශානාගේ මිතුරෙකු ඔහුගේ ආදරවන්තිය සමග දුරකථනයෙන් කල කථාබහක් සිහියට නැගුනි. කතාකලේ මොනවැදැයි නොදන්නේ ය. නමුත් අවස්ථාව හොදින් සිහියේ ඇත. ස්ථානය ලංගම බස් නැවතුම් පලය, වේලාවනම් මතකයේ නොමැත. මිතුරා සහ ඔහුගේ ආදරවන්තිය සිටියේ බස් නැවතුම් පලේ දෙපසකය. දුර මීටර 20ක් නොමැත. මිතුරාගේ දුරකථනය හැඩවුනි. ඇමතුම මිතුරාගේ ආදරවන්තියගෙනි. දෙදෙනා දෙපස සිට මුහුනෙන් මුහුන බලාගෙන ආදරබර කතාවකය. ඇමතුම පැයකටද වඩා දිගු වූ බව මතකය. ලග සිටින්නවුන් මෙසේනම් දුර සිටින්නවුන් ගැන කවර කතාවක්ද?

          පෝස්ටුව කෙටුවේ ආදරයත්, දුරකථනයත් සම්බන්ද කිරීමට ය. කෙටුනේ වෙනත් දේවල්දෝයි සිතුනත් වෙනස් කරන්නට නොයන්නේ ය. පෝස්ටුව අවසන් කිරීමට ලොකු ශානා ප්‍රශ්නයක් අසන්නේ ය. ඒ ආදරය කරනා සිත් වලිනි. 

"දුරකථන සමාගම් එක්වරම සියලුම දුරකථන ජාල නවතා දැමුවහොත් කුමක් වනු ඇතිද?"

_________________________________________________________________________________
ප.ලි. - ලොකු ශානා පිළිතුර සිතන්නේවත් නැත. මන්ද එය ලොකු ශානාගේද ඉහමොල රත්කරනු ඇත.

Sunday, June 2, 2013

පාරේ ගිය මාමෙකුට රබර් පටි වලින් විද්දෙමු (සෙල්ලම ලෙල්ලම වූ හැටි)


ඉස්සර කාලේ දැන් කාලේ වගේ නෙමෙයි කොල්ලො කුරුට්ටෝ ගෙවල් වලින් එලියට බැහැල එක එක ජාතියේ කිරීඩා කොරනව. දැන් ඉතින් ගෙට වෙලා පුටු රත් කොර කොර කොම්පියුටරේට කොටනව. ඉස්සර විතරක් නෙමේ දැනුත් හරි පුරසිද්ද කිරීඩාවක් තමයි රබර් පටිවලින් විදින එක. කාට හරි හින්සාවක් පීඩාවක් කොරල පොඩි පහේ ආතල් එකක් ගන්න දගලන ඇත්තන්ට කියාපු වැඩක්. මේ ලගදි දවසක ඉස්කෝලේ ලමයින්ගේ බෑග් චෙක් කොරන කොට 9 වසරෙ කොලු ගැටයෙක්ගෙ බෑග් එකක තිබිල ඔය කියන රබර් පටි වෙපන් එකක් කොල කෑලි උන්ඩ ටිකකුත් එක්ක අහුඋනා. ඌව ඔෆිස් එකට ගෙනිච්ච වෙලාවෙ බලන්ට එපැයි  උගෙ මූන. චයිනීස් ක්‍රීම් එකක් ගෙනල්ල මාට්ටු උන ගෑනු ලමයෙක් වගේ. චිකේයියා විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කිය කිය හිටියෙ.

            මම කියන්ට යන්නෙ නම් ඒ ගැන නෙමෙයි ඕන්. මට මතක හැටියට මම 8 වසරෙ විතර ඉන්න කොට අපේ ගෙවල් අහල පහල කොල්ලො සැට් එක එකතු වෙලා රබර් පටි වලින් හදපු ඔය වෙපන් අරගෙන යුද්ධ කොලා. අනිත් ඔක්කොම වගේ එලිපිට යුද්ධ කොරද්දි පොඩි ශානා (මම) විතරක් ගරිල්ලා ගෙම් දුන්න හැටි මට මතකයි. ඒ ඉතින් පොඩි වෙනසකට මිසක් උන්ඩ පාරවල් වැදෙයි කියල බයට එහෙම නෙමෙයි. අපේ ගෙවල් ලග ඉන්නව කොල්ලෙක් අපිනම් උට කියන්නෙ සජියා කියල. ගෙදර ඇත්තො උට කියන්නෙ සුද්ද කියල. ඌ දැන් මොකක් හරි ජොබකට සැට් වෙලා හින්ද වැඩියෙ හම්බ වෙන්නෙත් නෑ. ගෙදරත් නෙමේද කොහෙද ඉන්නෙ. ඉදල හිටල බස් එකේදි එහෙම හම්බ වෙනව. එකත් කලාතුරකින්. මිනිහ කුපාඩි වැඩ කොරන්ඩනම් හරි හපනා. මායි ඌයි එකතු වෙලා කොරපු කුපාඩි වැඩක් ගැන තමා මේ කියන්ට යන්නෙ.

            අපේ ගෙවල් ඉස්සරහ හරියෙ ඒ දවස්වල පොඩි බන්කර් එකක් ගැහුවෙ අපි දෙන්න එකතු වෙලා. ඕක පාරෙ යන අයටනම් කොහොමටවත් පේන්නෙ නැතිවෙන්න හැදුවෙ. ඉතින් ඕක හදල ඒ දවස්වල හවස ඕකට වෙලා ඉදගෙන පාරෙ අපේ උන්ට හූවක් කියාගෙන බයිට් එකක් දීගෙන හිටිය. ඒ දවස්වල මමනම් කොම්පියුටර් ගැන දන්නේ නෑ. හැන්ගි මුත්තන්, ගස් පුච්චන්, හොරා පොලිස්, වගේ සෙල්ලම් තමයි ඒ  දවස් වල කොරේ. ඉතින් ඔය වගේ සෙල්ලම් කරද්දි ඔය කිව්ව බන්කර් එකත් ගොඩක් ප්‍රයෝජනවත් උනා.

            ඉතින් දවසක් අපි පුරුදු විදිහටම හවස් වරුවෙ ඔය බන්කර් එකට වෙලා හිටියෙ කාටද හූවක් කියන්නෙ කියල බලාගෙන. අපේ ගෙදරටත් කවුදෝ නැන්ද කෙනෙක් ඇවිත් හිටිය හින්ද අපේ අම්ම බර කතාවක හිටිය වගේ මට මතකයි. පාරෙ වෙනදට ඇති තරම් සෙනග යද්දි ඇයි යකෝ අද බල් බල්ලෙක්වත් නෑනෙ. අපි දෙන්නටත් දැන් හොදටම මල පැනල හිටයෙ. එන්නෙ කව්ද එන එකාට ගෙමක් දෙන්ඩ ඕන කියල සජිය රබර් පටියත් රෙඩි කොරගෙන හිටියෙ. මම උට කිව්ව, යකෝ ගුටි කන්ඩ වෙයි දන්නෙ නැති කාටවත් එහෙම තියන්ඩ එපා කියල. ඌ අම්මා අප්ප කියන දෙයක්වත් අහන එකෙක් නෙමෙයි කියල මම දැනගෙන හිටිය. මම හිතුව වගේම මූ මම කියපු දේ කනකට ගත්තේ නෑ.
           
            ඔන්න ඒ ටිකෙන්ම බයික් එකක් එන සද්දයක් ඇහුන. සද්දෙ හැටියටනම් තැපලක් වගේ. බයික් එක ගෙවල් ලගට එද්දිම මූ වයර් කෑල්ලක් හදපු උන්ඩෙකින් බයික් එකට තිබ්බ. චුට්ට දුරක් ගිහින් බයික් එක නැවැත්තුව. මගේ හදවතත් නැවතුන වගේ. බයික් කාරය බයික් එක හරෝගෙන ඇවිල්ල හෝන් ගහන්න ගත්තම මට පොඩි පහේ චූ බරකුත් ඇල්ලුව. හොන් සද්දෙ ඇහිල අම්ම ආවොත් එහෙම අපි දෙන්නව දඩු කදේ ගහන එකනම් ෂුවර් කියල හිතුන හින්ද මම අරූවත් ඇදගෙන එලියට පැන්නේ ඕන රෙද්දක් වෙද්දෙන් කියාගෙන.

            බයික් එකේ හිටියෙ තට්ට මනුස්සයෙක්. පොර හිටියෙ තට්ටෙත් අත ගගා. පව් පල දෙනව කියන්නෙ ඕකට තමයි ඉතින්. පොරගෙ තට්ටෙ රත් වෙන්න ෂොට් එක වැදිල. මූ අපි දෙන්නට හොද දේෂනයක් දීල යන්ඩ ගියා. හෆොයි උන්නු හැටියට මලා මදැයි කියාගෙන ආපහු හැරුන අපි දෙන්න ගල් ගැහුනෙ අම්ම පිටි පස්සෙ ඉන්නව දැකල.

අම්මා :- කවුද ඒ? මොනද ඇහුවෙ?

දැන් හරි දැන් දීපන්කෝ උත්තර. වෙලාවට අම්ම වෙච්ච දේ දැකල නෑ වගේ. මගේ රගපෑමේ ශක්තියයි එකපාර බොරු ගොතන්ට හැකි හැකියාවයි දෙකම එකතු කරල මමත් ගේමට බැස්සා.

මම:- කවුද දන්නෙ නෑ. කාගෙදෝ නමක් කියල ගෙවල් කොහෙද කියල ඇහුව.

අම්ම:- කාගෙ ගේද ඇහුවෙ.

මම:- මම දන්නෙ නැති නමක්. පුලුවන්නම් ඇවිල්ල ගේ පෙන්නන්න කිවුව.

අම්ම:- ඔය දන්නෙ නැති මිනිස්සු එක්ක වැඩිය කතා කරන්න යන්ඩ එපා. මේ දවස්වල ලමයි පැහැරගෙන යනව
කියල ප්‍රවෘත්ති වලටත් කිව්ව.

ඇත්තටම ඒ දවස් වල එහෙම කතාවකුත් තිබ්බ නේන්නම්. ඒ වෙලාවෙ අර ගෙදරට ආපු නැන්ද එතනට ආපු හින්ද ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන අවසන් වෙලා. ලමුන් පැහැරගෙන යාම යන මාතෘකාව යටතේ අම්මයි ඒ නැන්දයි සාකච්චාවක් ආරම්භ කොරපු හින්ද අපි දෙන්න හෙමීට එතනින් පැන ගත්ත. එදා ඉදන් අපේ ඒ සෙල්ලමත් ඉවර උනා. සජියා මගෙන් ධර්ම දේශනාවකුත් අහගෙන ගිය ගමන ආයේ සතියක් විතර යනකන් පැත්ත පලාතක ආවෙ නෑ. දැනටත් අපි හම්බ උනාම පෙරලගත්තු බකට් ගැන කිය කියා හීනා වෙනව.

සටහන :- ඔබගේ අදහස් උදහස් කොමෙන්ට් කොරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

බ්ලොග් සාහිත්‍යය



          ලොකු ශානා පසුගිය දිනක පුහුණු වැඩ සටහනකට සහභාගී විය. ඒ සාහිත්‍ය පිළිබදවය හදිසියේම වාගේ මෙයට සහභාගී වීමට සිදුවූයේ ළ.ක්‍රි.වී යේ සාහිත්‍ය වැඩමුලු ආරම්භවන බැවිනි. එයට සහභාගීවූ ලොකු ශානාට අප කවුරැත් දන්නා සාහිත්‍යනම් විශයට අලුතෙන් එක්වූ දෙයක් ගැන මතකයට නැගුනි. ලොකු ශානා ඒ ගැන ඒ අවස්ථාවේද කතාකලේ ය. ඒ පිලිබදව පෝස්ටුවක් කොටන්නටද සිතුනේ ඒ අවස්තාවේදී ය. සාහිත්‍ය ලෝකයට අලුතෙන් එක්වන මෙය අනාගතයේදී සාහිත්‍ය ලෝකය දෙදරවන්නටද බැරිනැත. අනාගත සාහිත්‍ය වැඩමුලු වලදී කතා නොකරම බැරි මාර්තුකාවක්ද වනු නොඅනුමාන ය. සාහිත්‍යය ගැක කතාකිරීමට තරම් ලොකු ශානා සාහිත්‍යදරයෙකු නොවන බව නම් කිව යුතුම ය. මන්ද මේ පෝස්ටුව කියවන්නන් නැතිනම් ලොකු ශානාගේ කැරැට්ටුවට වගබාලා ගැනීමට ඉඩ ඇති හෙයිනි.

          ලොකු ශානා දැන ගත් පරිදි සාහිත්‍යයට සරල අර්තකථනය "අර්තයක්, රසයක් හා අපූර්වත්වයක් සහිත" යන්නයි. නිදහස් විශ්වකෝෂය(විකිපීඩියා) පවසන පරිදි සාහිත්‍යය නම් මෙසේය.

          "සාහිත්‍යය යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන් මත හා එහි අන්තර්ගතය මත රදා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රෑ සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක. පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම ලිඛීත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. (උදාහරණ ලෙස ඊජිප්තු) එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය ස්වාභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ (ක්‍රි.ව. 702-756) අර්ථ දැක්වීම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අදිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමෙකු පවසන හෝ ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි සාහිත්‍යය යනු යම් මග පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි. එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිලිබද අර්ථ දැක්වීමකි එහෙත් සාහිත්‍යටය අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරැවම මෙම සීමා පසු කරයි.

          රැසියානු රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරැ විදහා දක්වයි.

          විදහා දක්වන ලද කතන්තර, ගුහා වල ඇදි සිතුවම් හා සිහිවටන ආදිය සාහිත්‍යයේ සීමාවන් පුළුලු කර ඇත"

          ලොකු ශානා අද කතාකරන්නේ අද බිහිවෙමින් පවතින අලුත් සාහිත්‍යක් ගැනය. ඒ බ්ලොග් සාහිත්‍යය ගැනය. හැගෙන පරිදි බ්ලොග් යනු සාහිත්‍යයේ වෙනස්ම පැතිකඩකි. සාහිත්‍යයට අලුතෙන් එක්වන දෙයකි. අලුත් කලාවකි. වෙනසකි. අනේ මන්ද මේක මොනවගේද කියන්නට ලොකු ශානාට තවමත් බැරිය. හැබැයි මෙතෙක් දුටු සාහිත්‍යයට වඩා වෙනසක් දකින්නේ ය. ලොකු ශානා මුලින්ම සදහන් කල පරිදි මෙහි අර්ථයක් ඇත, රසයක් ඇත, අපූර්වත්වයක් ද ඇත. එසේනම් බ්ලොග් යනු අලුත් සාහිත්‍යයක් නොවන්නේ ද?

          අනෙක් භාෂාගැන කතාකරන්නට ලොකු ශානා නොයන්නේ ය. කතාකරන්නේ හොදින් දන්නා සිංහල භාෂාව ගැනය. මන්ද සාහිත්‍යය රටින් රටට භාෂාවෙන් භාෂාවට වෙනස් වන බව ලොකු ශානා දන්නා බැවිනි. සිංහල සාහිත්‍යයට බ්ලොග් කරනය ඇතුලුවිය යුතු බවනම් ලොකු ශානාගේ අදහසයි. සිංහල බ්ලොග් ලෝකයේ කෙටිකතා ලියන්නන්, නවකතා ලියන්නන්, ගද්‍ය හා පද්‍ය රචනාකරන්නන් මෙන්ම සාහිත්‍යය අංශයේ සෑම පැතිකඩක්ම ඔස්සේ තම තමන්ගේ බ්ලොග් ලියන්නන් සිටී. එසේනම් බ්ලොග් කරනය සාහිත්‍යයට එක් නොවිය යුතුද?

          කලින්ද සදහන් කල පරිදි මෙහි අර්ථයක් ඇත, රසයක් ඇත, අපූර්වත්වයක් ද ඇත. එසේනම් බ්ලොග් යනු අලුත් සාහිත්‍යයක් නොවන්නේ ද? සංවාදයට විවෘතය. මේ මගේ අදහස පමණි.