ඉස්සර කාලේ දැන් කාලේ වගේ නෙමෙයි කොල්ලො
කුරුට්ටෝ ගෙවල් වලින් එලියට බැහැල එක එක ජාතියේ කිරීඩා කොරනව. දැන් ඉතින් ගෙට වෙලා
පුටු රත් කොර කොර කොම්පියුටරේට කොටනව. ඉස්සර විතරක් නෙමේ දැනුත් හරි පුරසිද්ද
කිරීඩාවක් තමයි රබර් පටිවලින් විදින එක. කාට හරි හින්සාවක් පීඩාවක් කොරල පොඩි පහේ
ආතල් එකක් ගන්න දගලන ඇත්තන්ට කියාපු වැඩක්. මේ ලගදි දවසක ඉස්කෝලේ ලමයින්ගේ බෑග්
චෙක් කොරන කොට 9 වසරෙ කොලු ගැටයෙක්ගෙ බෑග් එකක තිබිල ඔය කියන රබර් පටි වෙපන් එකක්
කොල කෑලි උන්ඩ ටිකකුත් එක්ක අහුඋනා. ඌව ඔෆිස් එකට ගෙනිච්ච වෙලාවෙ බලන්ට එපැයි උගෙ මූන. චයිනීස් ක්‍රීම් එකක් ගෙනල්ල මාට්ටු
උන ගෑනු ලමයෙක් වගේ. චිකේයියා විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කිය කිය හිටියෙ.
මම
කියන්ට යන්නෙ නම් ඒ ගැන නෙමෙයි ඕන්. මට මතක හැටියට මම 8 වසරෙ විතර ඉන්න කොට අපේ ගෙවල්
අහල පහල කොල්ලො සැට් එක එකතු වෙලා රබර් පටි වලින් හදපු ඔය වෙපන් අරගෙන යුද්ධ කොලා.
අනිත් ඔක්කොම වගේ එලිපිට යුද්ධ කොරද්දි පොඩි ශානා (මම) විතරක් ගරිල්ලා ගෙම් දුන්න
හැටි මට මතකයි. ඒ ඉතින් පොඩි වෙනසකට මිසක් උන්ඩ පාරවල් වැදෙයි කියල බයට එහෙම
නෙමෙයි. අපේ ගෙවල් ලග ඉන්නව කොල්ලෙක් අපිනම් උට කියන්නෙ සජියා කියල. ගෙදර ඇත්තො උට
කියන්නෙ සුද්ද කියල. ඌ දැන් මොකක් හරි ජොබකට සැට් වෙලා හින්ද වැඩියෙ හම්බ වෙන්නෙත්
නෑ. ගෙදරත් නෙමේද කොහෙද ඉන්නෙ. ඉදල හිටල බස් එකේදි එහෙම හම්බ වෙනව. එකත්
කලාතුරකින්. මිනිහ කුපාඩි වැඩ කොරන්ඩනම් හරි හපනා. මායි ඌයි එකතු වෙලා කොරපු
කුපාඩි වැඩක් ගැන තමා මේ කියන්ට යන්නෙ.
අපේ
ගෙවල් ඉස්සරහ හරියෙ ඒ දවස්වල පොඩි බන්කර් එකක් ගැහුවෙ අපි දෙන්න එකතු වෙලා. ඕක
පාරෙ යන අයටනම් කොහොමටවත් පේන්නෙ නැතිවෙන්න හැදුවෙ. ඉතින් ඕක හදල ඒ දවස්වල හවස ඕකට
වෙලා ඉදගෙන පාරෙ අපේ උන්ට හූවක් කියාගෙන බයිට් එකක් දීගෙන හිටිය. ඒ දවස්වල මමනම්
කොම්පියුටර් ගැන දන්නේ නෑ. හැන්ගි මුත්තන්, ගස් පුච්චන්, හොරා පොලිස්, වගේ සෙල්ලම්
තමයි ඒ දවස් වල කොරේ. ඉතින් ඔය වගේ
සෙල්ලම් කරද්දි ඔය කිව්ව බන්කර් එකත් ගොඩක් ප්‍රයෝජනවත් උනා.
ඉතින්
දවසක් අපි පුරුදු විදිහටම හවස් වරුවෙ ඔය බන්කර් එකට වෙලා හිටියෙ කාටද හූවක්
කියන්නෙ කියල බලාගෙන. අපේ ගෙදරටත් කවුදෝ නැන්ද කෙනෙක් ඇවිත් හිටිය හින්ද අපේ අම්ම
බර කතාවක හිටිය වගේ මට මතකයි. පාරෙ වෙනදට ඇති තරම් සෙනග යද්දි ඇයි යකෝ අද බල්
බල්ලෙක්වත් නෑනෙ. අපි දෙන්නටත් දැන් හොදටම මල පැනල හිටයෙ. එන්නෙ කව්ද එන එකාට
ගෙමක් දෙන්ඩ ඕන කියල සජිය රබර් පටියත් රෙඩි කොරගෙන හිටියෙ. මම උට කිව්ව, යකෝ ගුටි
කන්ඩ වෙයි දන්නෙ නැති කාටවත් එහෙම තියන්ඩ එපා කියල. ඌ අම්මා අප්ප කියන දෙයක්වත්
අහන එකෙක් නෙමෙයි කියල මම දැනගෙන හිටිය. මම හිතුව වගේම මූ මම කියපු දේ කනකට ගත්තේ
නෑ.
ඔන්න
ඒ ටිකෙන්ම බයික් එකක් එන සද්දයක් ඇහුන. සද්දෙ හැටියටනම් තැපලක් වගේ. බයික් එක
ගෙවල් ලගට එද්දිම මූ වයර් කෑල්ලක් හදපු උන්ඩෙකින් බයික් එකට තිබ්බ. චුට්ට දුරක්
ගිහින් බයික් එක නැවැත්තුව. මගේ හදවතත් නැවතුන වගේ. බයික් කාරය බයික් එක හරෝගෙන
ඇවිල්ල හෝන් ගහන්න ගත්තම මට පොඩි පහේ චූ බරකුත් ඇල්ලුව. හොන් සද්දෙ ඇහිල අම්ම
ආවොත් එහෙම අපි දෙන්නව දඩු කදේ ගහන එකනම් ෂුවර් කියල හිතුන හින්ද මම අරූවත් ඇදගෙන
එලියට පැන්නේ ඕන රෙද්දක් වෙද්දෙන් කියාගෙන.
බයික්
එකේ හිටියෙ තට්ට මනුස්සයෙක්. පොර හිටියෙ තට්ටෙත් අත ගගා. පව් පල දෙනව කියන්නෙ ඕකට
තමයි ඉතින්. පොරගෙ තට්ටෙ රත් වෙන්න ෂොට් එක වැදිල. මූ අපි දෙන්නට හොද දේෂනයක් දීල
යන්ඩ ගියා. හෆොයි උන්නු හැටියට මලා මදැයි කියාගෙන ආපහු හැරුන අපි දෙන්න ගල් ගැහුනෙ
අම්ම පිටි පස්සෙ ඉන්නව දැකල.
අම්මා :- කවුද ඒ? මොනද ඇහුවෙ?
දැන් හරි දැන් දීපන්කෝ උත්තර. වෙලාවට අම්ම
වෙච්ච දේ දැකල නෑ වගේ. මගේ රගපෑමේ ශක්තියයි එකපාර බොරු ගොතන්ට හැකි හැකියාවයි දෙකම
එකතු කරල මමත් ගේමට බැස්සා.
මම:- කවුද දන්නෙ නෑ. කාගෙදෝ නමක් කියල ගෙවල්
කොහෙද කියල ඇහුව.
අම්ම:- කාගෙ ගේද ඇහුවෙ.
මම:- මම දන්නෙ නැති නමක්. පුලුවන්නම් ඇවිල්ල
ගේ පෙන්නන්න කිවුව.
අම්ම:- ඔය දන්නෙ නැති මිනිස්සු එක්ක වැඩිය
කතා කරන්න යන්ඩ එපා. මේ දවස්වල ලමයි පැහැරගෙන යනව
කියල ප්‍රවෘත්ති වලටත් කිව්ව.
ඇත්තටම ඒ දවස් වල එහෙම කතාවකුත් තිබ්බ
නේන්නම්. ඒ වෙලාවෙ අර ගෙදරට ආපු නැන්ද එතනට ආපු හින්ද ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන
අවසන් වෙලා. ලමුන් පැහැරගෙන යාම යන මාතෘකාව යටතේ අම්මයි ඒ නැන්දයි සාකච්චාවක්
ආරම්භ කොරපු හින්ද අපි දෙන්න හෙමීට එතනින් පැන ගත්ත. එදා ඉදන් අපේ ඒ සෙල්ලමත් ඉවර
උනා. සජියා මගෙන් ධර්ම දේශනාවකුත් අහගෙන ගිය ගමන ආයේ සතියක් විතර යනකන් පැත්ත
පලාතක ආවෙ නෑ. දැනටත් අපි හම්බ උනාම පෙරලගත්තු බකට් ගැන කිය කියා හීනා වෙනව.

No comments:
Post a Comment