Tuesday, June 25, 2013

ජීවිත අන්දරය - හයවන දිගහැරුම

ජීවිත අන්දරය පසුගිය කොටසින්

විද්‍යාගාරයේ දොර විවෘත වූයේ ය. මම අලස බැල්මක් ඒ දෙසට යොමු කලේ මෙතරම් ඉක්මනින් උපදේශකවරයකු කිසිසේත්ම පැමිණිය නොහැකි බව දන්නා නිසාමය. මගේ සිත ගැස්සීගියේ නොසිතූ විලසය. කිසිම දිනක මගේ සිතේ එවන් ගැස්මක් ඇතිවී නොමැති බව ඉදුරාම කිව හැක. ඒ රුව සිත පුරා ඇදී ගියේ නිමේශයකිනි.

*********************************************************************************
පසුගිය කොටස්

*********************************************************************************


විද්‍යාගාරයේ දොර හැරි ඈ විද්‍යාගාරය පුරා බැල්මක් හෙලුවේ සිතේ දෙගිඩියාවෙන් මෙනි. මොහොතක් බලා සිටි ඈ සෙමින් විද්‍යාගාරයට ඇතුළු වූවා ය. අඩි හතරහමාරක් පහක් පමණ උස, කලු දිග සායකින් හා සුදු බ්ලව්සයකින් සැරසී සිටි ඈ, ඉන දක්වා දිගු කොණ්ඩය තනි කරලට ගොතා පිට දිගේ වැටෙන්නට හැර තිබුනා ය. විද්‍යාගාරය සිසාර තවත් බැල්මක් හෙලූ ඈ යුවතියන් සමගින් එක් වූවා ය. මම නැවතත් පොතට සිත යොමු කලෙමි. කවදාවත් නොවූ ලෙස මගේ සිත අද මට අවනත නැත. නැවත වරක් ඈ දෙස බලන්නට සිත බලකරමින් සිටී. මම සිතට තරවටු කලෙමි. නැත එහෙත් අද සිත අවනත නැත. සිතත් සමග තරගයෙන් මම පැරදුනෙමි. ආපසු හැරී බැලූ මම ඈ මිතුරියන් සමග කතා කරමින් සිටිනු දුටුවෙමි. මුළු දිනය පුරාම මම සිටියේ නොසන්සුන් සිතිනි. සවස බෝඩිමට පැමිණියද මගේ සිත පුරා සැරිසැරුවේ මේ යුවතියයි.

දවසතුල ඉගැන්වූ කිසිවක් මගේ මතකයේ නොමැත. හිත පුරාම එක් රුවක් ඇදී තිබුනි. වසර තුනක් පමණ ආදරය කල යුවතියට පවා මගේ සිත මෙතරම් සෙලවීමට නොහැකි විය. එයිනුත් අවුරුදු ගනනකට පසු අද මගේ සිතේ වසා තිබූ සියළු දොරටු හැර දමමින් ඇය මුළු සිත පුරාම අරක් ගෙන සිටී. පාඩම් කරන්නට පොත අතට ගත්තද පොත අතරින්ද ඒ සිහින් දෑස් පෙනෙයි. සියල්ල පසෙකදා මම ඇදට වැටුනෙමි. නිදන්නට තැන් කලද නින්ද අහලකවත් නොමැත.  ඒ පුංචි දෑස් මගේ නින්දද සොරාගෙන ඇත.

කාලය දින සති වලට පෙරලී වේගයෙන් ගලා ගියේය. මම නිරන්තරයෙන් ඈ පිළිබද විමසිලිමත් වන්නට වූයේ මටත් නොදැනීමය. පාඨමාලවේ වැඩත් සමග වැඩි වැඩියෙන් පොත පතට කාලය වැය කලද සිතින් ඈ නික්ම ගියේ නැත. කිසිවෙකුටත් නොදැනී නාමලේඛනයෙන් ඇගේ නම උපන්දිනය ආදිය සොයාගන්නට මම සමත් වීමි. පාඨමාලාව හදාරන මිතුරෙකු මාත් සමග මගේ බෝඩින් කාමරයේම නවතින්නටද පැමිණියේ ද මේ කාලයේ ය. එමෙන්ම මගේ මිතුරියගේ මිතුරියද නිතර මාත් සමග දුරකථනයෙන් කතා කරන්නේ ය. එහෙත් එය මිතුදමට එහා ගිය බැදීමකට පෙරළුනේනම් නැත. ඇගයීම් පරීක්ෂණ, ව්‍යාපෘති, ප්‍රායෝගික පරීක්ෂණ අතර ජීවිත හෙමිහිට ගාල ගියේ ය.

මිතුදම් වර්ධනය වූයේ ය. සියල්ල එකා මෙන් වැඩ කරන්නට වෙහෙසුනේ ය. අධ්‍යාපනික තරගයේ දිනුම වෙනුවෙන් හොර රහසේ මෙන් තරගයක්ද නොතිබුනා නොවේ. උඩින් නොපෙන්උවද එකිනෙකා නොරුස්සන්නන්ද අප අතර විය. එහෙත් එකිනෙකාගේ පුද්ගලික දේවල් පිළිබද කතා කරන්නට තරම්ම මිතුදම් වර්ධනය වී තුබුනි. මගේ සිතට දැනෙන කතා බහක් දිනක පංතිකාමරය තුල සිදුවිය. ඒ ඉංග්‍රීසි කලච්චේදයකය. සුපුරුදු පරිදි දහවල් විවේයෙන් පසු තිබූ බැවින් අදාල ගුරුබවතා සුපුරුදුලෙසම ප්‍රමාදය. පරිඝණක විශයෙන් මොහොතකට මිදෙන අපි විවිධ මාර්තුකා ඔස්සේ කතා කරන්නේ මේ වේලාවේදී ය.

*********************************************************************************
විවිධ කතා අතරේ එදා මාර්තුකාව වූයේ ආදරයයි. එකිනෙකාගේ ආදර සම්බන්දතා පිළිබද කතාව ඇදී යන්නට විය. ලොකුවට කියන්නට දෙයක් නොවූ මම මගේ නොදුටු මිතුරිය ගැන කීවේ ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් සිතා ගන්නට හැකිවල ලෙසය. මගේ කතාව ඇහුම්කම්දෙමින් සිටි ඈ....

"හරියට මගේ කතාව වගේ"

මම ඈ දෙස බැලුවේ පුදුමයෙනි.

"ඒ කිව්වෙ"

"මමත් ඔයා වගේ තමා. ෆෝන් එකෙන් කතා කලාට තවම එයාව දැකල නැහැ"

සිත රිදුනි. එහෙත් ඒ බව නොපෙන්වා සිටින්නට මම සමත් විය.

"ඉතින් ඔයාට එයාව බලන්න යන්න හිතුන්නැද්ද ශාන්"

"යන්නනම් ඕන. ඒත් ඉතින් වෙලාවක් නැහැනෙ. වීක් එන්ඩ්ස්වල ක්ලාස් කරනවනෙ"

*********************************************************************************
මෙතෙක් නොදුටු මිතුරිය දකින්නට හිතේ තිබූ ආසාව මේ කතා බහෙන් තවත් වැඩිවිය. දින කිහපයකින් ඈ හමුවන්නට මම දෙහිවලට ගියෙමි. දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිටදී අපි මුණ ගැසුනෙමු. ඇයද අඩි පහකට ආසන්න උසකින් යුත් පුංචි යුවතියකි. පැයකට ආසන්න කාලයක් අපි කතා බහේ යෙදී සිටියේ එක එක වල්පල් ගැනය. අවසාන ඇගෙන් සමුගත්තේ මිතුදම් තවත් ශක්තිමත් කරගනිමිනි. ඒ මම ඈ මුණගැසුන අවසන් දිනයයි. ඈ මුණ ගැසී ආපසු එන අතර මම ඇයට දුරකථනයෙන් කතා කලෙමි.

"ආ යාළු, මං හිතුවෙ මව දැක්කට පස්සෙ ආයෙ කතා කරන එකක් නැහැ කියල"

"ඇයි මං කතා නොකර ඉන්නෙ. මං වෙනද වගේම ඔයා එක්ක කතා කරනව"

"හරි හරි යාළු"

අදටත් ඇය හොද මිතුරියක් ලෙස මාත් සමග මිතුදමින් බැදී සිටී.

*********************************************************************************
කාලය ගෙවී ගියේ වේගයෙනි. පාඩම් පොත් අතරට සිත වැඩි වැඩියෙන් යොමුවිය. බෝඩිමේ මාත් සමග සිටි මිතුරා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග වෙනත් බෝඩිමකට ගියේය. ඇතුගල්පුර පුංචි බෝඩිමේ නැවතත් මම තනිවීමි. එහෙත් ඒ තනිකමේ සුන්දරත්වයට මම ආසා කලෙමි, ආදරය කලෙමි. පංතියේ පුංචි යුවතියද මගේ සිතේ නිතර සැරිසැරුවා ය. එහෙත් ඇය වෙනකෙකුගේ පෙම්වතියයි. ඒ ආදරයට අකුල් හෙලන්නට අවශ්‍යතාවයක් මට නොමැත. මම වැඩි වැඩියෙන් පොත පතටම කාලය වෙන් කරන්නට වීමි. පන්තියේ පළමු දෙතුන් දෙනා අතර කරට කර සටනක් දෙන්නට ඒ නිසාම මට හැකිවුනි.

ආයතනයේ වෙනත් පාඨමාලාවක් හදාරන සිසුසිසුවියන් සංවිධානය කල විනෝද චාරිකාවට අපටද ආරාධනා ලැබුනි. දයාබර මිතුදම් තවතවත් ශක්තිමත් කරන්නට ඒ චාරිකාව ඉවහල් වූ බව සියළුදෙනාටම නොරහසකි. මගේ සිත හොරා ගත් ඒ පුංචි රුවැත්තිය හා මා තව තවත් මිතුදමින් ලංකරන්නටද එය ඉවහල්විය. කාත් සමගත් සුහදව සිනහවෙන් පිරුනු මුවින් සිටි ඈ මගේ හිතේ තවතවත් පැලපදියම් විය. මම ඈතින් හිද ඈ දෙස බලා සිටියෙමි. සොදුරු සිතකට උරුමකම් කී ඈ මගේම වූවානම් යැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. සිතේ වසා දමා තිබූ සමහර දොරටු ඈ වෙනුවෙන් විවෘත වී තිබුනි.

නිරන්තරයෙන් ඈ අසල ගැවසෙන්නට මම ආස කලෙමි. ඈ අන්සතු බව සිත පිළිගන්නට සූදානම් වූයේ නැත. සිත ඈ ගැන වැඩි වැඩියෙන් සොයන්නට උනන්දුවිය. මේ නිසාම ඈ සතුටින් නොවන බව සොයා ගන්නට මට වැඩි දවසක් නොගියේ ය. දුරකථනයෙන් පමණක් දැන හදුනාගෙන සිටි ඔවුන් අතර නිතර සිත් රිදුවීම් සිදුවන බව මට දැනුනේ ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තරම් මම අවස්ථාවාදියෙක් නොවෙමි. එහෙත් මම තව තවත් ඇයට ලන්වන්නට උත්සාහ ගත්තේමි. ඇයද වෙනදාට වඩා මගේ ඇසුර ප්‍රියකරන බව දැනුනේ ය.

ඇයද මට ආදරය කරන්නේ ද?
ඈට මාගේ අදහස තේරුම්ගොස් තිබුනිද?
සියල්ල කාලයට බාර දිය යුතුබව මට හැගී ගියේය.

*********************************************************************************
ලොකු ශානා ලියයි

ප.ලි - මගේ දුරකථන මිතුරියගේ මව මේ පෝස්ටුව ලියන මොහොතට සතියකට පමණ පෙර මෙලොව හැර ගොස් තිබුනි. ඇය පිලිකා රොගයෙකින් කාලයක සිට පිඩා වින්දාය. ජීවිතය අස්තීරය අප හැමට කවදාහෝ මෙලොව හැර යන්නට සිදුවන්නේය. මේ ආරංචිය මම ආදරණීය සිතැත්තියට පැවසූ විට ඇය බෙහෙවින් කම්පාවට පත්විය. මගේ මිතුරියට දුරකථනයෙන් කතා කරන්නයැයි ඇය කියසිටියාය. ඈ ලගපාතක වූවානම් අපට අවසන් කටයුතු සදහා සහභාගී විමට තිබුනා නේදැයිද පැවසීය. එයට අවස්ථාවක් නොමැතිවීම ගැන ඈ කණගාටු වූව ය. එහෙත් අද මේ පෝස්ටුව ලියන මොහොතවනතුරුද මිතුරිය දුරකථනයෙන් සම්බන්ද කරගැනීමට මට නොහැකි විය. එය එසේ වෙද්දී ආදරණීය සිතැත්තිය මා පිළිබද තබා ඇති විශ්වාසය කොතරම්දැයි මට වැටහුනි. වෙනත් යුවතියක්නම් මේ මොහොතේ අවසන් කටයුතු වලට සහභාගීවීම තබා දුරකථනයෙන් කතා කිරීමටවත් නොදෙන්නේ ය. 

13 comments:

  1. ලස්සන කථාවක් , හොදට ලියලා තියෙනවා ,

    ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා. මේ දිග හැරෙන්නෙ මගෙම කතාව.
      තැන්කූ මේ පැත්තෙ ඇවිත් යන්න ආවට අපිත් නිතර ඒ පැත්තෙ එනව.

      Delete
  2. Dannam thawa issarahata mokada wenne kiyala api kuthuhalayakin balagena inne...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඒ කුතුහලේ එහෙන්මම තියාගෙන ඊලග කොටසත් ලියන්න උත්සහ කරන්නම් එහෙනම්

      Delete
  3. Oyage kathawe thiyena samahara siddinuth, mama danna ekkenekge siddin walata godak samanai...

    ReplyDelete
    Replies
    1. ඔයා දන්න එක්කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගෙද ආ...

      Delete
    2. Mama honadatama danna ekkenekge...

      Delete
  4. මේක ඇත්තම කතාවක් හන්දා අතර මැද නවත්තන්නේ නැතුව ලියන්න බලන්න.. මොකද බ්ලොග් වල ලියපු ගොඩක් කතා වලට එහෙම උනා ශානා..

    වර්ඩ් වෙරිෆිකේශනුත් අයින් කරමු..

    ReplyDelete
    Replies
    1. හ්ම්.... අනිව. දැන්නම් දිගටම ලියන්න හිතිල තියෙන්නෙ. තව ටික දවසක් යද්දි මේක වර්තමාන කාලයේම ගාලගෙන යන්න සෙට් කරල ඊට පස්සෙ හිමීට ලියගෙන යනව.

      ඔන්න අයින්කලා. තැන්කූ මතක්කලාට.

      Delete
  5. ඕං එක හුස්මට කොටස් හයක් කියෙව්වා ඈ... ආයෙ හෙට අනිද්ද ඉතුරු ටික කියවලම අදහසක් දෙන්නං.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඩ්‍රැකී එක කොටසයි මිස් කරල තියෙන්නෙ. හරි හරි කියවල කමෙන්ට් එකක් දෙන්නකො එහෙනම්.

      Delete
  6. මට නම් නිකන් පිස්සු වගේ මේ කතාවට වහ වැටුනා ...තව ලියන්න අයියේ ඉතුරු ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අපි....කතාවෙි කියන්න කිසිම වැරැද්දක් නෑ අවංකවම හිත් හොරා ගන්න විදියට කතාව ලියලා තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ......
      ජීවිත අන්දරය එක පරිච්චේදයක් ඉවර කලා. දුක සතුට මැද්දෙ දෙවෙනි පරිච්චේදය ගලාගෙන යනව. මං හිතන්නෙ ඒක ලියන්න පටංගන්න තවම කල් මදි.

      Delete